Monday, August 20, 2012

කාන්තාව රැකියාවක් කල යුතුද? නැද්ද?


කාන්තාව... කාන්තාව කියන්නෙ ඉතින්, සමාජෙ ජීවත් වෙන මිනිස්සු අතර නිතර අවදානයට ලක්  වෙන කෙනෙක්නෙ..මේ නිසාම විවිධ චෝදනා වලට ලක්වීම, දෝෂාරෝපණයට ලක්වීම, තාඩන පීඩන වලට ලක්වීම ,නින්දාවට පත්වීම විතරක් නෙවෙයි, ආකර්ෂණයට, ගෞරවයට වගේම ආදරයටත් කාන්තාව හසු වෙනවා...

ඒ වගේම ඈත අතීතයේ ඉඳන්ම කාන්තාව, එහෙමත් නැත්තම් ගැහැනිය මුල් කරගෙන විවිධ දේවල් නිම වෙලා තියෙනවා. කලා නිර්මාණ බොහෝමයක් පාසා කාන්තාවගේ මූලිකත්වය මත ,කාන්තාව මුල් කරගෙන නිම වෙලා තියෙනවා. කවි කතාන්දර වගේම විවිධ ආප්තෝපදේශ පවා කාන්තාවන් වෙනුවෙන් කියැවිලා තියෙනවා.. මේ විදියට කාන්තාව මේ අපේ රටේ, මේ සමාජය ඇතුලේ විවිධ භූමිකා තුළින් ඉස්මතුවෙලා තියෙනවා. අදටත් එය එසේමයි...

ඉතින් දැන් එන්නම්කෝ මාතෘකාවට... මෙහෙම විවිධ අවස්ථාවලදි, විවිධ කාරණා ඔස්සේ කතාබහට ලක්වෙන කාන්තාව, රැකියාවක් කල යුතුද , නැද්ද කියන කාරණාවත් කාලයක් තිස්සෙ නෙවෙයි, අදටත් සමහරු එක එක මතයන් ඉදිරිපත් කරනවා. 

කොහොම නමුත් මොන මතය ඉදිරිපත් වුනත්, තමන්ගෙ පවුල රැකගන්න, දරුවන්ට සැපවත් ජීවිතයක් ලබා දෙන්න, ජීවිතේ ගෙවන්න තමන්ගෙ සැමියාට හයියක් වෙන්න, මේ වගේ නානාවිධ හේතු මත කාන්තාවෝ රැකියා කරන්න පෙළඹෙනවා.(රැකියා කිව්වෙ මේ ලෝකෙ පැරණිතම රැකියාව හැරුනු කොට අනිත් රැකියා. පැරණිතම රැකියාව පැත්තකින් තියලා කතා කරමුකෝ.)

අතීතයේ ඉඳන් අපේ කාන්තාවෝ තමන්ගේ ජීවන වෘතිකාව විදියට, එහෙම නැත්තම් තමන්ගෙ පවුලේ සුගතිය වෙනුවෙන් විවිධ දේවල් කර තිබෙනවා. මුදල් ඉපැයීම වෙනුවෙන් ඔවුන් පැදුරු විව්වා, ලණු ඇඹරුවා, ගොයම් කපන්න, එළවළු විකුණන්න, කිරි විකුණන්න,  ආදි නොයෙකුත් දේවල් කලා. ගමේ ලොකු වලව් වල වැඩ කරන්න, කෑම බීම වර්ග හදන්න  අපේ කාන්තාවෝ අතීතයේ සිටන්ම පුරුදු වෙලා හිටියා. ඒ තමන්ගෙ පවුල ජීවත් කරන්න , ස්වමිපුරුෂයාට හයියක් වෙන්න වගේ හේතු නිසා. අතීතයේ විතරක් නෙවෙයි අදටත් මේ දේවල් කරන කාන්තාවෝ ඕනෙ තරම් ගම් වල ඉන්නවා...

ඒ අතීතයේ.. 
ඒත් අද වෙද්දි ලෝකෙ හුඟාක් දියුණු වෙලා තිබෙනවා.මිනිස්සුන්ගෙ සමාජ ක්‍රමේ නොයෙකුත් වෙනස්කම් වෙලා තියෙනවා. අධ්‍යාපන ක්‍රමය, ජීවන රටාව බොහෝ සෙයින් දියුණුවට පත් වෙලා තියෙනවා. මේ නිසා එදාට වඩා අද තත්වය වෙනස් වෙලා තියෙනවා. අද සමාජයේ පිරිමි ළමුන් මෙන්ම සමව ගෑනු ළමුනුත් අධ්‍යාපනය අතින් ඉදිරියටම යන අතරම, දෙපාර්ශවයම රැකියා ඉලක්ක කරගෙනම ඉගැනීමට පුරුදු වී තියෙනවා. යම්තාක් දුරට ස්වාධීන වෙන්න උත්සාහ කිරීමත් මෙයට හේතුවක් වෙන්න පුළුවන්.රජයේ ආයතන වල, පෞද්ගලික ආයතන වල, කර්මාන්තශාලා වල ආදී ,බොහෝ රැකියා ස්ථාන වල කාන්තා පාර්ශවයේ සහභාගීත්වයක් දැකගන්න පුළුවන්. උගත්කම අතින් ඉදිරියට යන්න උත්සාහ කරන වත්මන් කාන්තාව රැකියාව ලෙසත් උසස් ආයතන ,සමාගම් වල සේවයට පෙළඹිලා තියෙනවා.

ඒත් වර්තමානෙ සමහරුන්ගෙ මතයක් තමයි, කාන්තාවක් රැකියාවක් කිරීම පවුල් සංස්ථාව බිඳවැටෙන්න, දරුවන්ගෙ සෞඛ්‍ය තත්වය, අධ්‍යාපනික මට්ටම,සමාජීය සම්බන්ධතා ආදිය දුර්වල වෙන්න හේතුවක් කියන මතය.

ඇත්තටම ගෙදරක අම්මා රැකියාවකට යනවානම්, දරුවන්ට ඉටුවෙන්න ඕනෙ සමහර යුතුකම් පැහැර හැරෙන්න ඉඩ තියෙනවා. නමුත් එයින් දරුවන් තමන්ගෙ වැඩ කටයුතු තමන් තනිව කරගන්න හැකියාව වර්ධනය කරගැනීමත් සිදුවෙනවා.හැම දේකම දෙපැත්තක් තිබෙන නිසා, මමනම් හිතන්නෙ හොද නරක දෙකම මෙයින් සිදුවෙනවා කියන දෙයයි. නමුත් දරුවෙක්ට අම්ම කෙනෙක්ගෙ රැකවරණය උණුසුම ආදරය ඕනෑම අවදියකදි , අම්මා දරුවන්ගෙන් ඈත් වෙලා සල්ලි හොයන්න අරගල කරන එකනම් ටිකක් අර්බුධකාරී තමා. නමුත් වෙන විකල්පයක් නොමැතිනම් සියළුම දේ දරුවන්ගෙ අනාගත අභිවෘද්ධිය තකා නම්, එතනදි එය සාධාරණය කරන්නත් පුළුවන් නේද?

සමහර ස්වාමිපුරුෂයා අහිමි වුනු ,දරුවන් එක්ක මේ ලෝකෙ තනිවුනු කාන්තාවන්ට වෙනත් පිළිසරණක් නැති තැන ඔවුන් රට රැකියාවක් තෝරගන්න පෙළඹෙන්න පුළුවන්. දරුවන්ට උගන්වන්න, වේලක් නෑර බත් කටක් කවන්න ඔවුන්ගෙ ඒ දහඩිය මහ්න්සියෙන් උපයන සල්ලි වලට පුළුවන්. කන්ද උඩරට වතුකර ජනතාවට වේලක් ඇර වේලක් බඩ පුරවගන්න නම් , අම්මායි තාත්තායි දෙන්නා විතරක් නෙවෙයි, දරුවන්ටත් වතු වල වැඩ කරන්න වෙන අවස්ථා ඇති. බොහොමයක් දුෂ්කර පළාත්වල වැඩිදුර ඉගනත්තෙ නැති, පහසුකම් නැති දුප්පත් පවුල්වල  ගෑනු ළමයි ගාමන්ට් වල රැකියා හොයාගෙන කොළඹ එන්නෙ ආසවට නොවෙන්න පුළුවන්.. ඉගනගන්න නංගි මල්ලිට උදව්කරන්න, අම්මා තාත්තාට වේලක් කන්න හයියක් වෙන්න ඇඳුම් මහන්න කොළඹ ආපු ගෑනු ළමයි ඕනෙ තරම් මේ රටේ ඉන්නවා.

මමනම් හිතන්නෙ ඕනෙම සදාචාර සම්පන්න රැකියාවක්( සදාචාර සම්පන්න බව මනින සාධක මම කියන්න ඕනෙ නෑ නේද? අපේ රටේ මිනිස්සු සදාචාරසම්පන්න බව හිස්මුදුනෙ තියාගෙන ජීවත් වෙන ජාතියක් නිසා.) කරන්න කාන්තාව පෙළබෙන එකේ ලොකුම ලොකු වරදක් නෑ.. තමන්ට, තම්න්ගෙ පවුලට, ජීවිතේට හානියක්, නරකක්, අවැඩක් නොවෙන ඕනෙම රැකියාවක් අවබෝධයෙන් ගෞරවයෙන් කරලා සල්ලි හම්බ කරන් ජීවත් වීම කාන්තාවකට අකැප දෙයක් නෙවෙයි. නමුත් කාන්තාවකට පුලුවන් නම් තම්න්ගෙ පවුල් ජීවිතය, දරුවෝ රැකගෙන,දරුවන්ගේ ස්වාමියාගෙ කටයුතු පැහැර නොහැර, සියලු දේ කළමණාකරනය කරගෙන සහයෝගයෙන් වැඩ කරන්න.....,  මම හිතන්නෙ ඒ තමා කාන්තාවකගේ ජයග්‍රහණය.

සියලුම දේ පවතින්නෙ තමන්ගෙ ක්‍රියාව මතයි. තමන් තමන්ගෙ ජීවිතේ ප්‍රතිපත්ති රැකගෙන, ගෞරවයෙන්, අවංකව කටයුතු කරන්න ඕනෙම කෙනෙක් දන්නවානම්, මම හිතන්නෙ කාන්තාවක් වුනත් , පුරුෂයෙක් වුනත්, කිසිම බේදයකින් තොරව ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්...

කාන්තාවක් රැකියාවක් කිරීම හොඳද නරකද කියලා තීරණය කරන්න, මත ඉදිරිපත් කරන්න පුළුවන්, ඒ කාන්තාව හා රැකියාව මත වගේම, ඇගේ ක්‍රියාවන්  අනුව කියලායි මම හිතන්නෙ. ඒ මගේ මතය. ඔයාගේ මතය????

54 comments:

  1. තමන් අතින් කෙරෙන්න ඕන යුතුකම් නිසි ආකාරව කරන්න සහ ඉගෙන ගත් දෙයින් වැඩක් ගන්න රැකියාවක් කළ යුතු ම නැහැ. මගේ පෞද්ගලික අදහසේ හැටියට, විවාහ වී, දරුවන් ලබා වගකීම් වැඩි වෙද්දී රැකියාව කියන සංකල්පයෙන් මදක් ඈත් වෙන්න කාන්තාව එකඟ විය යුතුයි.
    අපේ අම්මා විද්‍යාවේදී ගෞරව උපාධියක් හිමි කරගෙන, රැකියාවක් නොකර ගෙදර නැවතුනේ අපේ අධ්‍යාපනය වෙනුවෙන් කැප වෙන්න හිතාගෙන. අම්මා කියන්නේ පවුලේ ආර්ථිකය ගොඩනන්වන්නිය ලෙසට වඩා පවුලේ පැවැත්ම ආරක්ෂා කරන්නීය ලෙසටයි මා සලකන්නේ. මගේ අදහසට අනෙක් අය එකඟ විය යුතු යයි මා කියන්නේ නැහැ. මට හිතුනු විදියයි ඒ..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. රැංගො ගෙ අදහසට මමත් එකඟයි. ඒත් අද සමාජයේ සැමියෙකුගේ ආදායමෙන් විතරක්ම ජීවත් වෙන්න ඹැරි තරම් අවශ්‍යතා වැඩි හන්දා බිරිඳත් සැමියාට සපෝට් එකක් දෙන්න රැකියාවක් කරන අවස්ථා තියෙනවා.
      පවතින සමාජ ආර්ථිකයත් එක්ක කාන්තාවටත් සමාජය එක්ක රේස් දුවන්න වෙලා. ඒ හන්දාම කාන්තාවකගෙ යුතුකම් අමතක වෙලා. ඔය පවුලේ පැවැත්ම ආරක්ෂා කරන්නීය කියන කෙනා මේ සමාජයේ ඉත්තෙක් වෙලා.

      Delete
    2. පලාවනි අදහසට පැහැදිලිවම එකගයි . නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගත්තු නිසා රටේ මිනිස්සුන්ට අපි නයයි .ඒ නය ගෙවන්න සේවයක් කළ යුතුමයි . මනුස්සකම්නි පිරුනු දරුවන්ව ලෝකෙට දීලා ඒ ණය ගෙවන්න ඔනෙම කාන්තාවකට පුළුවන්. යහපත් අනාගතයකට දරැවන්ට ඔනේ කරන්නේ අම්මගේ සල්ලි නෙවේ , ආදරය .

      කොහොම වෙතත් කාන්තාවන් රැකිය කරනවට විරුද්ධයි කියල මොනම වෙලාවක වත් මම කියන්නෑ . හැබැයි වැඩට යන හැම අම්මෙක්ගෙම දරුවෝ ඉල්ලන්නේ අම්මට ගෙදර නවතින්න කියන එකයි . තේරීම කාන්තා ඔබ සතුයි

      Delete
    3. රැංගෝ-ම්ම්ම්ම්ම්ම්... ඔව්.. රැංගෝගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා.. හැම දේකම දෙපැත්තක් තියෙන නිසා, එක එක්කෙනාගෙ අදහස් වෙනස් වෙන්න පුලුවන්...

      Delete
    4. ලිහිණී සහ දිනෙල්ක- ඔයලා දෙන්නාගෙ අදහස් වලටත් ගරු කරනවා.. මේ ලිපිය තවත් අගය වැඩි කරලා තියෙනවා ඔයාලාගෙ අදහස්.. ස්තූතියි

      Delete
  2. ස්ටිල් නෝ අයිඩියා.. :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හි.. ඉස්සරහට එයි අයිඩියා එකක්..

      Delete
  3. කාන්තාව ගැන වෙනස් විදියට සිතීම..... ම්හ්.... එකඟ වෙන්න අමාරුයි (අවස්ථා කීපයකදී හැර)... එබැවින් කාන්තාවක් රැකියාවක් කිරීමේ වරදක් දකින්නත් අමාරුයි,

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්... කානතාවගෙ ක්‍රියාවන් මතයි, පසුබිම අනුවයි වෙනස් වෙනවානෙ..

      Delete
  4. අනේ මන්දා ඉතිං..

    ReplyDelete
  5. ඕනෙම සදාචාර සම්පන්න රැකියාවක් කරන්න කාන්තාව පෙලඹන එකේ වැරැද්දක් නෑ කියන එකට මමත් ගොඩාක් එකඟයි.. මම හිතන විදියට කාන්තවකට ගැලපෙන රැකියාවන් අතර ගුරු වෘත්තිය වගේ ඒවා වැදගත් තැනක් ගන්නවා. විවේකය අතින් බැලුවත් පිළිගැනීම අතින් බැලුවත් ගුරුවරියක් කියන්නේ ඉහලින් ඉන්න කෙනෙක්.. කොතරම් සමාජයේ ඉහලින් පිළිගත්තත් එක දිගට දිගු සේවාමුර, රාත්‍රී මුර, අඩු නිවාඩු සහිත රැකියාවක් (හොඳම උදාහරණය දන්නවනේ මම කියන්නේ නෑ ඉතින්) පවුල ගැන බලද්දි කාන්තාවකට සුදුසුද කියන එක සිතා බලන්න වැදගත් කරුණක්

    ReplyDelete
    Replies
    1. ඔව්.. ගුරු වෘත්තිය නම් කාන්තාවකට හුඟාක් සුදුසු වෘත්තියක් තමයි.. එකගයි!!! :)

      Delete
  6. ගෑනු ලමයෙක් තමුන්ට ගැලපෙන රස්සාවක් කලාට කමක් නැහැ..විවාහයෙන් පස්සෙ දෙන්නම රැකියා කරන එක ආර්ථිකයට හොඳයි..ඒත් මගේ පුද්ගලික අදහසත් කැමැත්තත් මේකයි...විවාහ උනාට පස්සෙ මම නම් කැමති නැහැ රැකියාවක් කරන්න..

    ReplyDelete
    Replies
    1. ඒ නම් ඉතින් කම්මැලිකම තමා... හී හී

      Delete
    2. මම කිව්වෙ මගෙ අදහස කැමැත්ත..ඒකට ඔයා කම්මැලිකම කියනව නම් මම ඒකට පැහැදිලි පිලිතුරක් දෙන්නම්....
      මට ඕනෙ මගෙ ගේ ලස්සනට පිලිවෙලකට තියා ගන්න..වත්තෙ ඉස්සරහ මල් වවන්න..පිටිපස්සෙ එදිනෙදා අපිට ඕනෙ කරන එලවලු,මිරිස් වගේ දේවල් වවා ගන්න..අනික ඒක මගේ ආශම විනෝදංශය...
      මම ගොඩාක් ආශයි කෑම බීම හදන්න..අපේ ගෙදර රසට කෑම බීම මගෙ අතින්ම හදන එක මගෙ බලාපොරොත්තුව....
      තව දෙයක් කුරුල්ලො.පූසො වගේ හුරතල් සත්තු කීපදෙනෙක් හදන්නත් මම හිතා ඉන්නව...
      මගෙ හිතෙත් තියනව හීන....කවදා හරි මගෙ හස්බන්ඩ්ගෙ බබාලගෙ ඔක්කොම වැඩ මගෙ අතින්ම කරන්න...එතකොට තව යුතුකම් කියල කොටසකුත් අපේ ජීවිත වල තියනවනෙ..මගෙ අම්මව බලාගන්න මගෙ හස්බන්ඩ්ගෙ දෙමාපියො ගැන බලන්න....ඒ වගේ දේවල්..??

      ඉතින් මම මේ කිව්ව එකී මෙකී නොකී සියලුම රාජකාරි යුතුකම් මා පිට පටවගෙන සතුටින් ඒවා කරනව..මගෙ හස්බන්ඩ්ට එයාගෙ රස්සාව ස්තුටින් සැහැල්ලුවෙන් කරන්න ඉඩ දීල...

      මේකට කියන්නෙ කම්මැලිකමද??????????

      Delete
    3. වලියක් වලියක්... කට්ටියම වරෙල්ලා...

      Delete
    4. වලි විතරනේ කස්ටියට පෙන්නේ

      Delete
    5. අපොයි කවුද ඕක වලි පැත්තට අදින්නෙ..? අපිට වෙන වැඩ තියනව වලි වලට වඩා..වලි අවුස්සලා අත්පුඩි ගහන්න බලන් උන්න නම් සොරි....

      Delete
    6. හෝව්ව්ව්... හෝව්ව්... මෙතන රණ්ඩුවක් තිබ්බෙ නෑ.. රණ්ඩු ඇති කරන්න ත් එපා..:D අදහසක් ප්‍රකාශ කරන්න කාට වුනත් අයිතිය තියෙනවානෙ...

      කිරිල්ලි එක්ක එකඟයි!! එක එක්කෙනාගෙ එක එක මතයන් තියෙන්නෙ.. තමන්ගෙ කැමැත්ත අනුව ඉතින් අදහස් වෙනස් වෙනවා..

      Delete
    7. @ කිරිල්ලි:කුරුල්ලොයි පූසන්වයි එකට හදන්නේ කොහොමද ?? අන්න එතකොට නම් අයිතිකාරිට වෙන්න ඔක්කෝම ගෙදර වැඩ පැත්තක තියලා හැමදාම වලි බේරන්න තමා...
      පූසෙක්ව හුරතලේට ඇති කරන්න හදන පක්ෂියෙක් ගැන මම මේ ඇහැව්වාමයි.. හික්ස්ස්

      Delete
    8. //ඉතින් මම මේ කිව්ව එකී මෙකී නොකී සියලුම රාජකාරි යුතුකම් මා පිට පටවගෙන සතුටින් ඒවා කරනව..මගෙ හස්බන්ඩ්ට එයාගෙ රස්සාව ස්තුටින් සැහැල්ලුවෙන් කරන්න ඉඩ දීල...//

      This is what I believe wife's mind set having this sort of thinking that result a successful man, woman and a family

      Delete
  7. //කාන්තාව රැකියාවක් කල යුතුද? නැද්ද?//

    ඒ ඒ කාන්තාව කැමති පරිදි තීරණයක් ගන්න ඉඩ දුන්නොත් හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.. කියවන්නාගෙ අදහසයි විමසුවෙ..:)

      Delete
  8. //සියලුම දේ පවතින්නෙ තමන්ගෙ ක්‍රියාව මතයි// ඔබ හරි මෙන්න මේ පදනමේ ඉඳලා කටයුතු කරනව නම් ඔය කියන පවුල් අවුල් ඇතිකරගන්නේ නැතුව දෙන්නගෙම දායකත්වයෙන් තමන්ගේ පවුල් ජිවිතේ ශක්තිමත්ව සහ සාරවත්ව ගතකල හැකීවෙනව. කාලොචිත ලිපියක්

    ReplyDelete
  9. //සියලුම දේ පවතින්නෙ තමන්ගෙ ක්‍රියාව මතයි// ඔබ හරි මෙන්න මේ පදනමේ ඉඳලා කටයුතු කරනවනම් ඔය කියන පවුල් අවුල් ඇතිකරගන්නේ නැතුව දෙන්නගෙම දායකත්වයෙන් තමන්ගේ පවුල් ජිවිතේ ශක්තිමත්ව සහ සාරවත්ව ගතකල හැකීවෙනව. කාලොචිත ලිපියක්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඒක ඇත්ත අයියේ... :) ස්තූථියි!!!!

      Delete
  10. ඕනම දේක හොඳ නරක දෙකම තියෙනවනේ.

    කාන්තාව ‍රැකියා කිරීමේ වරදක් මමනම් දකින්නේ නෑ. දැන් කාලේ ජීවන වියදමේ හැටියට ස්වාමි පුරුෂයා සහ බිරිඳ යන දෙන්නම ‍රැකියා නොකර වියදම් කවර් කර ගන්නත් අමාරුයි.

    විදේශ ‍රැකියා ගැනත් මෙතනදි කියන්නම ඕන. පොඩි ළමයි ඉන්න අම්මලානම් රට ‍රැකියා වලට යාම මම අනුමත කරන්නේ නෑ. රටේ වැඩි වෙන ළමා අපචාර වලට එක හේතුවක් තමයි ඔය කාරනය.

    ReplyDelete
    Replies
    1. ඔව්.. අන්න විදේශ රැකියා වලනම් ප්‍රශ්නයක් මතුවෙනවා තමායි.. මට මේ ලිපියෙදි ඒ ගැන හුඟාක් විස්තර කරන්න බැරි ව්උනා..

      Delete
  11. පවුලක බිරිඳ රැකියාවක් කරනවා යන සාධකය මතම එම පවුලේ සාර්ථකත්වය තීරණය වෙන්නේ නෑ. මවත් පියාත් දෙදෙනාම රැකියාවල් කරන පවුල් වල දරුවන් පවා ලොකු මහත් වෙලා සමාජයේ ඉහළ ස්ථාන වල සිටීම අද සමාජයේ සුලභ දෙයක්. ඒත් මව රට රැකියාවකට යෑම කියන අවස්ථාවෙදි නම් මෙය වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. //පවුලක බිරිඳ රැකියාවක් කරනවා යන සාධකය මතම එම පවුලේ සාර්ථකත්වය තීරණය වෙන්නේ නෑ. // එකඟයි!!!!

      රට රැකියා සඳහා යෑමනම් ටිකක් අර්බුධකාරියි තමා..

      Delete
  12. මගේ අදහස නම් රැකියාවක් කරන්න ඕන.මොකද නැත්තම් දැන් තියන ආර්ථික ප්‍රශ්න එක්ක සල්ලි නැතුව පිස්සුවෙන් තමා ජිවත් වෙන්න වෙන්නේ ..ඒ අතරේ තමන්ගේ පවුල රැක ගැනීම නම් යුතුකම.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔය දෙකම සම්බරව කරගෙන යන්න පුලුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්...

      Delete
  13. හොඳ නරක හැමදේම තියනව. ආර්ථික පැත්තෙන් සහ කාන්තාවගේ ස්වාධීනත්වයට රැකියාවක් කිරීම හොඳයි. අනිත් පැත්තෙන් දරුවන් වෙනුවෙන් වැය කරන්න තියන කාලය අඩුවෙනව.
    මෙන්න තවත් සංවාද සහිත ලිපියක්.

    ReplyDelete
    Replies
    1. දරුවො එක්ක ගතකරන්න තියෙන කාලෙ අඩුවෙන එකත් ගැටලුවක් තමා.. නමුත් විකල්ප යොදාගන්න පුලුවන් නෙ....

      ස්තූතියි ඔය ලින්ක් එකට.. ඒ ලිපිය බොහොම හරව්ත්, සහ බ්ලොගයත්...

      Delete
  14. අනේ මන්දා. අපේ අම්මත් රැකියාවක් කරනවා. එත් අම්මගෙන් වෙන්න ඕන හැම දෙයක්ම ඒ විදියට කරලත් තියනවා. මම පොඩි කාලේ ඉස්කෝලේ ඇරිලා එන්නේ අම්මගේ කන්තෝරුවට. මම විතරක් නෙමෙයි අක්කල දෙන්නත්. ඉතින් අම්ම රැකියාවක් කරනවා කියල අව්ලක් උනේ නැහැ අපිට නම්. රැකියාවක් කරන්න ඕන කියල හිතනවානම් එහෙමයි නැත්නම් මෙහෙමයි. එක තමන්ගේ කැමැත්ත සහ සමාජ තත්ත්වය ගැන හිතල තීරණය කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.. එහෙම සමබරව පවුල සහ රැකියාව පවත්වගෙන යන කාන්තාවො ඉන්නවා.. මම කියන්නෙත් එහෙමයි.. අමාරුවෙන් හරි එහෙම කරන්න පුලුවන් නම් ඒක ජයග්‍රහණයක්..

      Delete
  15. අද ආර්ථිකය යටතේ අනිවාර්යයෙන්ම කාන්තාව රැකියාවක් කල යුතුයි.. එක තමා පලවෙනි හේතුව. දෙවෙනි හේතුව හැමවේලේම පුරුෂයාගෙන් ඉල්ලන්නේ නැතුව ඉන්න නම් තමන්ට සල්ලි හම්බු වෙන විදිහක් හදාගන්න වෙනවා.ඒකට රැකියාවක් කරන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්වාධීනත්වය රැකගැනීමට කාන්තාවක් වුනත් කැමතියිනෙ...

      Delete
  16. ස්ත්‍රියක් තමාට සුදුසු ගැලපෙන රැකියාවක් කිරීම මමත් වරදක් හැටියට දකින්නේ නෑ, බිරිඳක් තමාගේ පවුලත් රැකගෙන සැමියාගේ ආර්ථිකයට උර දෙන එක පැසසිය යුතු දෙයක්, මොකද එහෙම නැතුව අද ජීවත් වෙන්නත් අමාරුයි මේ තියෙන ආර්ථික වට පිටාවත් එක්ක.හැබැයි බිරිඳක් මවක් කියන භූමිකාව රැකගෙන ඒ දේ සමබරව කර ගැනීමට කාන්තාව දැන ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. .හැබැයි බිරිඳක් මවක් කියන භූමිකාව රැකගෙන ඒ දේ සමබරව කර ගැනීමට කාන්තාව දැන ගත යුතුයි.

      ඔව්.. මගේ අදහසත් ඒකයි.. අමාරු වුනත් උත්සාහ කිරීම වටිනවා..

      Delete
  17. විවාහා උනාට පස්සෙනම් මම රැකියාවක් කරන්නේ නැහැ. දරුවෝ වෙනුවෙන් කලයුතු යුතුකම් ගොඩයි. රැකියාවක් කරන අපේ පුංචි ගේ දරුවෝ අරහේ මෙහෙ හැමතැනම ඉන්නවා දැකලා දැකලාම මමනම් විවාහා උනාට පස්සේ රැකියාවක් කරන්නේ නැහැ කියන මතේම ඉන්නවා.කම්මැලිකම නිසයි මේ රැකියාව උනත් කරන්නේ. ඔක්කොම අල්ලලා දාලා ඉන්න ඇත්නම් සැපයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත.. දරුවො ගැන හිතද්දිනම් ඒක ඇත්ත.. හැබැයි මමනම් ආස නෑ කිසිම දෙයක් නොකර ඉන්න..

      Delete
  18. සමතැන දීලනේ තියෙන්නෙ. රස්සාවක් කොරන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. හි හි... සමතැන නෙවෙයි නිසි තැන දුන්නානම් ඇති..:)

      Delete
  19. අනේමන්දා නේද...මේ පොඩි මට තාම ඔව්වා ගැන තේරුමක් නෑ අෆ්ෆා...

    ReplyDelete
  20. යුතුයි. එතකොට වටේ පිටේ ගෙවල් වල ඕප දූප හොයන්න වෙලාවක් නැහැ.

    ප්‍රශ්න අඩුයි !

    ReplyDelete
  21. කම්මැලිකමට හෝ ගෙදර ප්‍රශ්න තියෙනවානම් හෝ ඉගෙන ගත්තානම් එයට සරිලන රැකියාවක් ඕනේ කියලා හිතනවානම් කලාට කමක් නෑ. එත් මවක් ගෘහනියක් වුනාම රැකියාව එක්ක තමන්ගේ අතින් වෙන්න ඕනේ යුතුකම් ගොඩාක් යට මගහැරෙනවා. ඒ වගේම එතන සැකය ඇති වෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙන්ම වැඩිම ඩිවෝස් කේසස් වෙන්නේ අන්න ඒ හේතුව නිසා.
    මගේ පෞද්ගලික මතය නම් උපරිම කඩිසර කමක් කම්මැලිකමක් නැති කාන්තාවකට රැකියාව සමග ගෙදර වැඩ කටයුතු සමබරව කරන්න පුලුවන්නම් රැකියාවක් කලාට කමක් නැහැ කියන ඒක.

    ReplyDelete
    Replies
    1. ඔව් කතාවෙත් ඇත්තක් තියෙනවා.. මොකද හුඟාක් පවුල් අවුල් වලට හේතුවක් තමා ඔය කාන්තාව හා බැඳුනු රැකියා ප්‍රශ්න..

      Delete
  22. මටත් මගේ මතය කියන්න හිතුනා.කාන්තාව රැකියාවක් කලට කමක් නැහැ තමා.කාන්තාවට රැකියාවයි පවුල යි දෙකම සමබරව කරගෙන යන්න පුලුවන් නම් හොදයි.එත් මන් හිතන්නේ කාන්තාව කරන රැකියාව අනුව සැමියාටත් පවුල වෙනුවෙන් කරන්න දේවල් තියෙනව, එයාගේ රැකියාව කරනවට අමතරව.උදාහරණයක් විදියට කාන්තාව දොස්තර කෙනෙක් උනොත්,එයාගෙන් ගෙදර වැඩ ඔක්කොම බලාපොරොත්තු වෙන එක වැරදියි කියලා යි මට හිතෙන්නේ.විවාහයෙන් පස්සේ රස්සාව අතාරිනවා කියල හිතුවොත් කවදාවත් ඒ අයට රස්සාව කරන්න ලැබෙන්නේ නැහැ.ඒ නිසා ඒ වගේ පවුලකට (මන් කියන්නේ හැම පවුලකටම) සැමියාගෙන් උදව් ඕන වෙනවා.ඒවා යුතුකම් කියලම මන් කියන්නේ නැහැ.තමන්ගේම පවුල වෙනුවෙන් නේ කරන්නේ..

    ReplyDelete
  23. කාන්තාව රැකියාවක් කිරීමේ වරදක් නෑ.හැබැයි පිරිමියා එක්ක තරගෙට කාන්තාවන් රැකියා සඳහා යොමු කිරීමට ස්ත්‍රීවාදී ප්‍රතිපත්ති සකස් කිරීම හානිකරයි.හරියට නූලට තිතට 50%ට පිරිමියාට එරෙහිව කාන්තාව බලගැන්වීම කියන ස්ත්‍රීවාදයට මම නම් එකඟ නෑ.ස්ත්‍රීවාදය තුලින් මව හා දරුවා අතර සම්බන්ධය බිද හෙලනවා.මාතෲත්වය හා ස්ත්‍රීත්වය විනාශ කරමින් කාන්තාව තවත් පිරිමියෙක් කිරීමේ ස්ත්‍රීවාදී අදහසින් නොවෙයි පවුලට සහයෝගයක් ලෙස ,ප්‍රමුඛත්වය රැකියාවට නොවෙයි පවුලට දෙනවා නම් පමන දැන රැකියා කිරීමේ වරදක් නෑ

    ReplyDelete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....