Thursday, July 12, 2012

තාත්තා නැති අපිට ,දුක් ගිනි ඇවිළෙන්න එපා!!!!



A Fathers Love for his daughter



මම කාව්‍යා ..ඔන්න මමත් එකතු උනා ගැහැණු ළමයි එක්ක හොදේ.ඉතින් මේ මගේ පළවෙනි පෝස්ට් එක ගැහැණු ළමයින්ට.පළවෙනි එකම ටිකක් දුක්බර සංවේඳී කතාවක්.


ම්ම්ම් අපි මෙහෙම හිතමු තමන්ගෙ තාත්තගෙ එහෙමත් නැත්තන් අම්මගෙ අකල් මරණය ගැහැණු ළමයෙක් කොහොමද දරාගන්නෙ....? එයාට මොනවද දැනෙන්නෙ...?හිතාගන්නවත් බෑ නේද...? හිතා ගත්තත් කොහොම ඒවා වචන වලට හරවන්නද...?ජීවිතේ හොදම වයසෙදි මමත් මේ බියකරු අත්දැකීම ලැබුව.ගල්කිස්ස කනත්තෙ ආදාහනාගාරයේ දුම් බටෙන් තාත්තගෙ සිරුර දැවි දැවී නගින දුම් දකිනකන්ම මම ඒ ඇත්ත පිළිගන්න මැලි උනා.අදත් එතන පහු කරන් යද්දි මට දැනෙන මල මුස්පේන්තු හැඟීම විස්තර කරන්න සිංහල හෝඩියේ මම දන්න අකුරු මදි.ඒ ගැන මම ගොඩක් කතා කරන්න යන්නෙ නෑ එහෙම උනොත් මට මේක ලියාගන්න බැරුව යනවා.

මේ හැම දේම ආයෙ ආයේ මට මතක් උනේ ඊයේ පෙරේදා මගේ හොදම යෙහෙළියකගේ පියාගේ අවමගුලකට සහභාගි වෙන්න මට සිද්ධ උන නිසයි.සාමාන්‍යයෙන් මම අවමගුල් උත්සව හිතා මතාම මඟහරින කෙනෙක් ඒ හේතු දෙකක් නිසා පළවෙනි එක මළගෙවල් වල මල් වඩම් වලින් එන අමුතු සුවඳ (ගඳ )මට දරාගන්න බෑ,අනිත් කාරණේ කවුරුවත් අඬනවා බලන් ඉන්න බැරිකම .මෙන්න මේ හේතු නිසා මළගෙවල් වලට මගේ සහභාගිවීම බොහොම අඩුයි.ඒත් මේ නම් නොයාම බැරි එකක්. ඒ නිසා ගියා.මළගෙදරක උච්චතම අවස්ථාව මිනිය ගෙදරින් එලියට ගන්න මොහොත හා භූමදානය හෝ ආදාහනය කරන මොහොත. මෙහෙත් ඒකේ වෙනසක් තිබුනේ නෑ.අඬල දොඩල හෙම්බත් වුන මගෙ යාලුවට හරියට සිහියක් පතක්වත් තිබුනේ නෑ.මම එයා තුලින් දැක්කෙ මාවමයි.මං වගේම තවත් ගැහැණු ළමයෙකුට තමන්ගේ ආදරණීය පියා අහිමි උනා නේද කියන හැඟීම මගේ ඉහ මොළ පසාරු කරගෙන ගියා.

ජීවිතෙ හොදම වයසෙදි දරුවෙකුට තාත්තෙක් අහිමි වෙනවා කියන්නේ සුලුපටු කාරණයක් නෙවෙයි.විශේෂයෙන්ම ගැහැණු ලමයෙකුට පියාගේ අත්වැල , රැකවරණය ආදරය අහිමිවෙනවා කියන්නෙ ජීවිතේ හරි අඩක් නෑ ..එහෙමත් නැත්තම්,සම්පූර්ණයෙන්ම කඩාවැටුණා හා සමානයි.කාලෙත් එක්ක දුක තුනී වෙනවා කඳුළු වේලෙනවා තමයි ..ඒත් ,දරුවෙක්ට අම්මෙක් තාත්තෙක් නැති අඩුව වෙන කාගෙන්වත් වෙන කොහෙන්වත් සම්පූර්ණ කරන්න බෑ. ඒක තමා ඇත්තම ඇත්ත.

ඉස්කෝලේ උසස්පෙළ පංති වලදීත් අනිත් සේරම වැඩ පැත්තක දාලා මගේ තාත්ත මාව එක්ක යන්න හරියට 1.30 වෙද්දි ඉස්කෝලෙ ගේට්ටුව ගාව හිටිය.මගේ බෑග් එක එයාගෙ කරට දාගෙන අතින් අල්ලලා මාව පාර පැන්නුව.එහෙව් තාත්තා මාව ඒ අතින් අල්ලලා පෝරුවට නග්ගන්න ඉන්නෙ නැතුව ඉක්මනටම යන්න ගියා.මහ ලොකු කෙල්ලෙක් වෙලත් තාත්තගෙ කකුල් දෙක උඩ නැගල ඔන්චිලි පදිද්දි " දැන් ඔයා බරයි මේවා කරන්න බෑ මගේ මුණුබුරෙක්ව හරි මිණිබිරියෙක්ව හරි තමා ආයෙත් මෙහෙම උඩ දාන්නෙ " කියල හීන මවපු එයා ඒ හීනේ එළි නොකරගෙනම යන්න ගියා.

දරුවො කොච්චර උස්මහත් උනත් දෙමාපියන්ට එයාලා පුංචි දරුවන් ගානයි.සමහර අවස්ථාවලදී "දැන් ඔයා ලොකුයි ඕවා තනියම කරගන්න පුලුවන් වෙන්න ඕනෙ " කියන එයාලම තමා සමහර තැන් වලදී " තාම පොඩි උන් ඔයාලට මේවා කරන්න බෑ " කියන්නේ.එකම වයසෙදි විවිධ අවස්ථාවලදි කොහොමද මෙහෙම ලොකු වෙන්නෙයි පොඩි වෙන්නෙයි කියල ඉස්සර මම තාත්තා එක්ක තර්ක කරල තියෙනව. ඒත් දැන් මම දන්නව ඒ ආදරේට කියල.හැම තැනකදිම එයාල බලන්නෙ අපිව නපුරෙන් බේරන්න. අපිව ආරක්ශා කරන්න.

හැම තාත්තෙක්ටම තාත්තෙක් උන පළියටම ආදරණීය තාත්තෙක් වෙන්න බෑ, ප්‍රශංශා ලබන්න බෑ ,දරුවන්ගේ හිතේ සදාකාලයටම ජීවත් වෙන්න බෑ.එහෙව් තාත්තෙක් වෙන්න වගේම ,එහෙව් තාත්තෙකුගේ දරුවෙක් වෙන්නත් වාසනා කරන්න ඕනෙ.මම එහෙම වාසනාවන්ත ගැහැණු ළමයෙක් .මගේ පියා එහෙම වාසනාවන්ත පියෙක්.

මම මෙතනදී විශේෂයෙන් තාත්තා ගැන කතා කලාට අම්මා කෙනෙකුගේ වියෝවත් මේ හා සමානයි.ගැහැණු ළමයෙකුට සමහර විට ඒ අහිමිවීම තාත්තෙකුගේ අහිමි වීමටත් වඩා බරපතල වෙන්න පුලුවන්.මොකද ගැහැණු දරුවෙක් ළඟින්ම ඉන්නේ අම්මා. ඒ යෝධ හෙවනැල්ල ජීවිතෙන් ඈත් වෙලා ගියොත් කාටද ඒ අඩුව පුරවන්න පුලුවන් ...? මිහිතලය කම්පා වෙන්න ඇඬුවත් හැපුනත් ඒ වේදනාව කෙලවර වේවිද...?

සමහර දෙමාපියන් දරුවන්ගේ ලෝකයෙන් මේ විදියට සදහට සමුගෙන යනවා.ඒ වගේම තමයි සමහර දෙමාපියන් දරුවන්ගේ සැපත සතුට වෙනුවෙන්ම එයාලගෙන් දුරස් වෙලා දේස දීපංකරේ ගිහින් මුදල් හම්බකරනවා.දෙරටක තනිවෙච්ච ඒ මව්පියන්ගෙ , ඒ දරුවන්ගෙ හිත් වල මොන තරම් ගින්දරක් ඇවිලෙනවා ඇද්ද..?අඩුම තරමේ සිංහල අවුරුද්දකටවත් එක මේසෙ වාඩි වෙලා එකට කිරිබත් කෑල්ලක් කන්න තරම්වත් වරම් නැතුව හූල්ලන ඒ ආත්ම කොයි තරම්නම් හිතින් වැලපෙනව ඇද්ද...?ඒත් එයාලා යම් තරමකට හරි වාසනාවන්තයි. මොකද දෙපැත්තක හිටියත් එකම ඉරක් එකම හඳක් යට එයාලා ඔවුනොවුන් වෙනුවෙන් හුස්ම ගන්නවා.

උපන්නොත් කෙනෙක් දිනෙක මේ මහ පොලවට පස් වෙනවාමයි... ඒක තමා බුදු බණ... ඒක තමා ලෝක සත්‍ය.මරණයේ දුක මිය යන්නාට නොව ජීවත් වන්නාටයි.ඒක මොන තරම් දුක උනත් නියම හපන්කම ඒ කෙනා වෙනුවෙන්ම හැපි හැපී ජීවිත කාලෙම හීල්ලීම නොවේ.ඒ කෙනා වෙනුවෙන් ජීවත් වීමයි.ඒ කෙනා ජීවත් කරවූ අය ජීවත් කරවීමයි.

ඉතිං එහෙම හිතෙ හයියෙන් ජීවත් වෙන අම්මා තාත්තා අහිමිවුණ ඕන තරම් දිරිය දියණියෝ මේ රටේ ඉන්නවා..මේ ලෝකේ ඉන්නවා... ජීවිතේ කියන්නේ හිමිවීම් විතරක් නෙවෙයි.. ජීවිතේ කියන්නේ බැඳීම් විතරක්ම නෙවෙයි.අහිමිවීම් තියෙන්න පුලුවන්... බැඳීම් ලෙහෙන්න පුලුවන්...ජීවිතේ අත්වැල ගිලෙහෙන්න පුලුවන්...ඒ හැම දේම සම සිතින් විඳ ගෙන ජීවිතේට මුහුණ දෙන ගැහැණු ආත්ම මොන තරම් ඇද්ද...
නැතිවෙච්ච තාත්තා වෙනුවෙන්, නැතිවුනු අම්මා වෙනුවෙන් ඇස් වල කඳුළු හංගගෙන , ජීවිතේ දිනන සටන මෙහෙයවන දිරිය දියණිවරු මොන තරම් ඉන්නවාද.. ඒ අය හැම අම්මෙක් තාත්තෙක්ටම ආශිර්වාදයක්...අම්මා අහිමි පවුලට අම්මා වෙච්චි දුවලා , අම්මා අහිමි මල්ලිට අම්මාගෙ සුවඳ බෙදන්න උත්සාහ කරන අක්කලා ලෝකෙටම සම්පතක්... තාත්තා නැති පවුලෙ බර කරට අරන්, තාත්තාගෙන් දුවට වෙන යුතුකම් ඉටු කරන්න නැහෙන අයියලාත් ආදර්ශයක්!!!

අවසාන වශයෙන්,ජීවිතේ හැටි එහෙමයි... මොන දුකක්, මොන කරදරයක්, මොන බාධකයක් ආවත්, මහ මුහුද තරම් කඳුළු ඇස් වලින් ගැලුවත්, ගැහැනු හිත් වල හයිය කොයි මොහොතක හරි මතු වෙනවා.. එහෙම මතුවෙන ශක්තියෙන්, ඒ හයියෙන්, ජීවිතේ හුඟාක් දුර යන්න පුළුවන්...

ඉතින් ලියන්න තව බොහේ දේ තිබුනත් මම මෙතනින් මේ පෝස්ට් එක නවත්තනවා.ආයෙ දවසක මේ ගැන කතා කරනන් පුලුවන් කමක් තිබුනොත් අපි කතා කරමු.අවසානයේ මගේ එකම පැතුම වන්නෙ මෙයයි... මට වගේ , මගේ යෙහෙළියට වගේ ,කිසිම දරුවෙකුට ,කිසිම දියණීයකට, ගැහැනු ලමයෙකුට ,අකාලයේ පිය සෙනෙහස අහිමි නොවේවා!!!










Tuesday, July 10, 2012

ඔයාට, මට, එයාට අයිති නුඹ....




හැම දරැවෙක්ම හෙළන් ඇති
හැම ගැහැණියක්ම නාස්ති කරලා ඇති
හැම පිරිමියෙක්ම සඟවන්න ඇති
හැම කෙනෙක්ම වට්ටලා ඇති
මක්නිසාදයත්
එය කිසිවකුට අමුත්තකු නොවන නිසා...
ආදරයට
සතුටට
වේදනාවට
දුකට
එය උරැම නිසා...
මෙලොව උපදින්නටත් පෙරත්
මරණයෙන් පසුත්
ජිවිතය පුරා අප අතර
සැරිසරන
සැම මිනිස් නෙතක්ම
එහි රස ගුණ හදුනන්න ඇති





කඳුළු











Tuesday, July 3, 2012

හොද ළමයෙක් වෙන්න දුවේ.....01



බට්ටි මහ හුගක් ආදරේ කරන පොතකින් තමයි,මේ අද බට්ටි ලියන දෙවෙනි පොස්ට් එක සරසන්නේ. ඒ පොතේ හැම අකුරක් අකුරක් ගානෙම තියෙන්නේ ගැහැනු ළමයින්ට වැදගත් දේවල්.ජීවිතේට, අනාගතේට ගැහැනු ළමයෙක්ට හුඟාක් වටින කරුණූ ගොඩාරියක් ඒ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා.

ගැහැනු ළමයෙක් හදලා සමාජයට දෙනවයි කියන්නේ මුළු රටක්ම ගොඩගත්තා කියන එකයි." තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරයි" කියලා කියමනකුත් තියෙනවනෙ. ඉතින්,ගැහැනු ළමයින්ගේ ප්‍රාර්ථනා මල් ඵල ගන්වන්න ,මේ උපදෙස් ටික වැදගත් වෙයි කියලා බට්ටි හිතනවා.

1. ඔබ ස්වභාව ධර්මයට එකතුවෙන්න
උසට වැඩුනු ගස් කොලන් ..... පෙරී එන පිරිසිදු වාතය ..... නිල් තණබිම් ..... කදුහෙල් , මිටියාවත් , පිපී විකසිත වන මල් ..... පෙතිවල රැදෙන පිණිබිදු ..... සිහින් හිරු රැස් ..... අහස උසට නැගෙන සිහින දුමාරය .... ගලා යන තුෂාරය ..... ශිත පින්න ..... මේ හැම දේකින්ම ඔබේ ජීවිතය වර්ණවත් කරන්න. ඔබට අධ්‍යාත්මික සුවය ලඟාකර ගැනීමටත් සිතට එන පීඩනය අවම කර ගැනීමටත්, මානසික විවේකය ලබා ගැනීමටත්, මේ හැම දෙයක්ම ඉවහල් වෙන බව සිතට ගන්න.


2. ජීවිතය දෙස මේ කරුණු තුලින් එබී බලන්න
කහපාට වෙන විට , ඉදුනු ගෙඩි, ගස්වල කොල , බිමට හැලෙන බව.
සිහින් පින්න බිමට වැටී නොපෙනී යන බව.
ලස්සන රෝස මල් පෙත්තක හිමිදිරියේ වැටුනු පිනිකැටය දියවී යන බව.
කවුළුව අද්දර ඊයේ පිපුනු ලස්සන මල හෙටකදී පරවී යන බව.
ආදර හැම කෙනෙක්ම , හැම දෙයක්ම , කවදා හෝ අපෙන් ඈත්වන බව.


3. යථාර්ථය දකින්න පුරුදු වෙන්න.
අප මුහුදු වෙරළේ ගමන් කරන විට දකින සුදුවන් පෙණ පිඩු සහිත රළ අතට ගත්තොත් ,අතෙහි ඉතිරි වන්නේ වතුර පමණක් බව.
ඈතදී දකින ගිණි වළල්ලේ ඇත්තේ වළල්ලක් නොව, ගිණි පෙනෙල්ලක් බව
හැම දෙයකම , හැම ගැටළුවකම පෙනෙන පැත්තට වඩා යථාර්ථවාදීව නොපෙනෙන පැත්තක් ඇති බව.


4. ජීවිතය ජීවත් කරවන්න, එය ගගක් සේ ගලා යාමට ඉඩ දෙන්න.
මනුෂ්‍ය ජීවිතයක වටිනාකම තක්සේරු කරන්න බැහැ. අංග විකල නොවූ (ඇස්,කන,අත පය , මනස) ජීවිතයක් ලබාගන්න , අපි මොනතරම් පින් කරන්න ඕනද? ඒ නිසා ඒ වගේ වාසනාවන්ත ජීවිතයක් ලැබූ අපි ඒ ජීවිතය රැකගන්න කොයිතරම් මහන්සි විය යුතුද? කැපකිරීම් කල යුතුද ? අන්න ඒ ටික හිතට ගන්න. ඒ නිසා ඒ වගේ වටිනා ජීවිතයක් විනාශ කරන සියළුම ප්‍රවේගකාරී බලවේගයන්ගෙන් ඈත්වෙන්න. සියළු බාධක ජයගෙන පහලට බැස යන ගඟක් සේ ජීවිතයට ගලායන්න ඉඩදෙන්න.

5. ජීවිතය සුන්දරය
සුන්දරත්වය හැම විටම ජීවිතයට එක්කර ගන්න. එය කවුළුව අද්දර සිට ශිත කදුකරය දෙස බලමින් සෙමින් සෙමින් තොල ගාන පළතුරු යුෂ බදුනක් සේ සිතා සියමු මිහිරකට එක් කරන්න. ජීවිතය මිහිරි ගීයක් සේ සලකා හැකි හැමවිටම ආසාවෙන් ගයන්න. 


6. අසුබවාදී සිතුවිලි සිත තුලින් ඈත්කර දමන්න.  
ක්‍රෝධය , දේවේශය , මෝහය , තණ්හාව අපේ සිත ලෙඩකරන විෂබීජය. මේ විෂබීජ‍ බොහෝ දුර‍ට අපේ සිත තුල පහල කරන්නේ විෂමාචාර සිතුවිලිය. එහෙයින් , අප යුද්ධ වැදිය යුතු සතුරන් සේ සලකා මේ විෂබීජ තුරන්කර දැමීමට සටන් කරන්න.

7. දවසේ වැඩ ඉතා උනන්දුවෙන් , උද්යෝගිමත්ව පටන්ගන්න
එවිට ඒ සියල්ල ආසාවෙන් කෙළවර කළ හැකිය.
අද දවසේ වැඩ සියල්ල අදම ඉටුකරන්න.
නිදහසට කරුණු දක්වනවාට වඩා එය කෙතරම් අගනේදැයි නිතරම සිතන්න.

8. ඔබ කරන හැම ක්‍රියාවකටම වටිනා තක්සේරුවක් දෙන්න
පළමුව පොත් මේසය අස්කරන්න.
දෙවනුව කාමරය අස්කරන්න.
ඔබ කරන දෙයක ප්‍රතිඵලය හැකි සැමවටම හොද නරක දෙක තුළින් තක්සේරු කොට හොද දේ ජීවිතයට එකතු නරක දේ තුළින් තව තවත් පාඩම් ඉගෙන ගන්න.
ජය පරාජය දෙකටම එකසේ නොසැලී මුහුණ  දෙන්න. ජයග්‍රහණයේදී අත්පුඩි සලන්න. පරාජයේදී තවත් එක් පාඩමක් ඉගෙන ගෙන එයද ජය මාවතක් වෙත යොමු කරන්න.

9. සැමවිටම ඔබ , ඔබ ගැනම විශ්වාසය තබන්න.
ඔබට කල නොහැකි දෑ ගැන සිතනවාට වඩා ඔබට කල හැකි දෑ ගැන සිතන්න. එසේම කිසිදාක නොවෙන දේවල් ගැන සිතමින් අහස් මාලිගා තනනවාට වඩා සැබෑ ලෝකය මත පුංචි ගෙයක් හෝ තනන්න උත්සාහ ගන්න.


10. අන්‍යයන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙන්න.
ඔබ දේශකයකුවීමට සිතන්නට කලින් ජනප්‍රිය අසන්නෙකුගේ තත්වයට පත්වෙන්න. ඔබ වඩාත් හොදින් අසන්න. ඔහු / ඇය වඩාත් ඔබගේ ජීවිතයට ලංවන බව සිතන්න.


11. ඔබට සතුරන් ඇති බව නිතරම සිතන්න
මෙම සතුරන් වඩාත්ම අරක්ගෙන සිටින්නේ ඔබගේ සිත තුලම බව වටහාගන්න. උදාසීනත්වය, අලසකම . වැඩ කල්දැමීම , මෙම සතුරන් අතර සිටින ප්‍රධාන සතුරන් බව බුද්ධියෙන් වටහා ගන්න.


12. ඔබට වේදනාවක් දැනු‍නහොත් , දුකක් දැනුනහොත් දෑසින් කදුළු හැකිතරම් පිටකරන්න.
වේදනාව හදවත තුලත් , සිත තුලත් තෙරපාගෙන සිටීමෙන් ඇතිවන පීඩනය ඔබගේ මුළු ගමත රෝගී කිරීමට හැකි බව නිතරම සිහියට නගාගන්න. වේදනාව තුනීකර ගැනීමේ හොදම ඖෂධය වන්නේ කදුළුය. එසේම එම වේදනාවට හේතුව ඔබ ඔබේ හොදම යෙහෙළියට පවසා සිත සැහැල්ලු කරගන්න.


13. ස්වභාව ධර්මයේ මේවා රැදී තිබෙන බව සිතන්න. ඒවා ඔබට පමණක් අයත් දේයැයි නොසිතන්න.

ලා‍භය               අලාභය                         කීර්තිය                          අපකීර්තිය


14. ඔබට අත දෙන්නට සුර දූතයෝ මෙහි නැති බව සිතන්න. 
ඔබේ සිත් වේදනාවට හේතුව ඔබම සොයාගන්න. සිතට විවේකය ගන්න. පරිසරය වෙස් කරන්න . ඔබ මුළුමනින්ම පීඩනය කල අදහස් මොහොතකට අමතක කොට දමා වෙනත් මගකට ‍සිත යොමු කරන්න.


15. ඔබේ ශක්තිය , බලය ගැන නිරම සිහියට නගන්න. එය කිසිවෙකුට පාවා නොදෙන්න.
මෙතෙක්  ‍ලෝකයේ සියළු විස්කම් කලේ දෙවියෙකු නොව මිනිසෙකි. මිනිසා වුවද අන්ධයෙකුට දෙවියෙකු ලෙස දැකිය හැක. මිනිසා මැවූ දෙයට සාක්ෂි ඇතත් , දෙවියෙකු මැවූ දෙයට ඇත්තේ විශ්වාසයක් පමණි. ලොව පාලනය කරන්නේද මනුෂ්‍යයෙකි. දෙවිවරුන්ට පවා බණ කීයේ මනුෂ්‍යයෙකි. නිවන් මග දුටුවේ මනුෂ්‍යයෙකි. එසේ නම් නොපෙනෙන දෙවියෙකුගේ බලයට වඩා මනුෂ්‍යයෙකු සතු බලය අසීමිත බව සිතන්න.


16. දෙවියන්ගේ දේවාලවලින් මේ රට හිස්ව නැත. එහෙත් එහි වෙසෙන මනුෂ්‍යයින්ගේ සිත් සතන් හිස්ය. දෙවියන්ගේ උද්‍යනයේ මල් කඩන්නට අපට අවසර නැත. එහෙත්  එහි මල් වවන්නට අපට අවසර ඇත. අපි ඔවුන්ගේ පුදසුන රකින්නේ අපේ පුදසුන හිස්ව තබාගෙන බව අමතක නොකරන්න. 


උපුටා ගැනීම: සුනිල් රෝහණ මහතාගේ ‍''හොද ළමයෙක් වෙන්න දුවේ" කෘතියෙනි....

ඉතිරිය ඊලග ලිපියට........