Friday, August 31, 2012

මාවතේ තනිවූ නැගණියට සෙනෙහසිනි !





සැදෑ කළුවර ගලන
අදුරු ගොම්මන් වෙලේ
නගේ නුඹ ඇයි තනිව
මේ වීදි කෙලවරේ
නගරයම සුර ලොවක
වෙස් ගන්න මේ පැයේ
හෙමි හෙමින් අඩි තියා
දසත නෙත් යොමන්නේ
නෙක පාට විදුලියට
නුඹ වශී වී වගේ

නගේ නුඹ දන්නවද ?

මතු පිටින් නුඹ දකින
මේ සුන්දරත්වය මැද්දෙ
මහ පොලොව නුහුලනා
අපරාධ මංකොල්ල
මේ නගරෙ සිදුවෙනව
උඹ උනත් තව ටිකෙන්
උන්ගෙ ගොදුරක් වෙන්න
බොහෝ විට ඉඩ තියේ

දයාබර නැගණියේ


නිශාචර හෝරාව
එලබෙන්න පෙරාතුව
අඩිය ඉක්මන කරල
හනි හනික ඉගිලියන්
පංති ගොස් පමා වුන
පොඩි එකී එනතුරා
ඉඳිකඩුලු ලඟට වී
අම්ම ඇති මඟ බලන්







Sunday, August 26, 2012

හොද ළමයෙක් වෙන්න දුවේ.....02

හොද ළමයෙක් වෙන්න දුවේ පළවෙනි ලිපිය කියවලා භාගෙට හොද ළමයි වෙලා හිටිය අය දැන් ආයෙම නරක ළමයි වෙලාද දන්නෙ නෑ. මොකද බට්ටි ඉතුරු පොස්ටුව දාන්න හුගක් පමා වුන නිසා. සමාවෙන්න ඕන ඒ ගැන හැමෝම.

ඔන්න එහෙනම් ඉතුරු ට්කත් බලල හොදම හොද ළමයි වෙන්නකෝ.....




17. යමක් කරන්නට පෙර සිතා බලන්න. තීරණයක් ගැනීමය පෙර විමසා බලන්න. ඉක්මන් නොවන්න.වඩාත් බොරු කියන්නේ කුඩා දරුවන් නොවන බව සිතට ගන්න.

18. සැබෑ මාර්ගය ඔබ ඉදිරියේ බව සිතට ගන්න. එහි පසුමගක් හෝ අතුරු මාර්ගයක් නැත. ඉදිරියට තැබූ පියවර පිටුපසට නොගන්න.

19. නිතරම යුතුකම් හා වගකීම් ගැන සිතන්න.
අපේ ජීවිතය නිතරම වගකීම් හා යුතුකම්වලින් පිරී ඇති බව මෙනෙහි කරන්න. ඒ යුතුකම් අවස්ථාවක් ලැබෙන හැම විටම ඉටුකරන්න. එවිට ලෝකය ඔබේ  සතුට කිසිදාක උදුරා නොගන්නා බව මතක තබාගන්න.

20. මෝඩකමට බෙහෙත් නැත.
මෝඩකමත් එක්තරා රෝගයකි. එහෙත් එම රෝගයට මෙතෙක් බෙහෙත් සොයාගෙන නැත. එහෙයින් මොඩකම් නොකරන්නත්, කල මෝඩකම් නැවත නොකරන්නත්, ඉන් පාඩමක් ඉගෙන ගන්නත් සිතට ගන්න.

21. අනුන් තුල ඇති ගුණ ගයන්නට තරම් ඔබ නිහතමානීවන්න. ජනප්‍රියවීමේ එක් රහසක් එය බව ඔබ නොදන්නවා විය හැක. තමා හා විශ්වාසයට කී රහස් කිසිසේත් පිට නොකරන්න. විශ්වාසවන්ත මිතුරියක් වීමේ අගය වටහාගන්න. 

22. තමා අභිමුඛයට එන බොහෝ දේ තම නුවණ නැමති තරාදියට දමා කිරා බලන්න. තරාදියේ බර ඇදෙන්නේ තම වාසි පැත්තටදැයි නිතර විමසිලිමත් වන්න.

23. දෙදෙනෙකු නිතරම එක සමාන නොවන බව සිතට ගන්න.
  • එකම කූඩුවක සිටින පක්ෂීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වැඩියෙන් ශබ්ද කරන බවත්,
  • එකම කූඩුව සිටින සුනඛයින් දෙදෙනෙකුගෙන් එකෙකු වඩා සැරපරුෂ බව තේරුම්ගන්න.
24. ඔබ මෝටර් රථයක් පදවන අවස්ථාවේ , ඉන් බැසීමටවත් , එය තල්ලු කිරීමටවත් නොසිතන්න.

25. දෙවියන් ඔබට නොදෙන දෙයක් මේ මිහිපිට නැත.ඒ කුමක්ද?
     ඒ ඔබට කල හැකි දෙයයි. ඔබට කල හැකි දේ නොකොට දෙවියන්ගෙන් ඉල්ලන්නේ කුමක්ද? ඒ දෙවියන් පවා නොදත් දෙයයි.

26. ඔබට නොවැටහෙන, ඔබට විශ්මිතයි හැගෙන බොහෝ දේ අවසානයට ඔබ තවකෙකු පිට පටවනු ඇත. ඉන් සිදුවන්නේ ඔබ විසින් තවත් දෙවියෙකු නිර්මාණය කිරීමයි. එහෙත් ඒ දෙවියන් අවසානයේදී ඔබම බව දන්නේ ඉතා ස්වල්ප දෙනෙකු පමණක් බව මතක තබාගන්න.

27. කෙනෙකුගේ සේවය අවතක්සේරු කිරීමත්, තමන්ගේ සේවය හැමවිටම ඉස්මතු කිරීමත් නිසා බොහෝ දෙනා ඔබ අතහැර යන බව තරයේ සිතට ගන්න.

28. දිනකට අඩු තරමේ පැය භාගයක්වත් ව්‍යායාම්වල යෙදෙන්න. අඩුම තරමේ කිලෝමීටර් දෙකක්වත් පයින් ගමන්  කරන්න. ගත ලෙඩවීම සිත ලෙඩවීමට එක් හේතුවක් බව සිහි තබාගන්න.

29. බුදුන් වහන්සේට ජීවක නම් වෛද්‍යවරයෙකු සිටි බව අමතක නොකරන්න. හාස්කමින් ලෙඩ සුව කරන්නේ නම් , කිසිදාක වෛද්‍ය විද්‍යාව මෙලොව බිහි නොවන බව සිතට ගන්න.

ඉතිං හැමෝම මේ ලිපි දෙක කියවලා යම් දෙයක් ජීවිතයට ගත්තනම් ඒක ගැහැනු ළමයි ලියන අපි හැමෝටම ලොකු සතුටක්........

උපුටා ගැනීම: සුනිල් රෝහණ මහතාගේ ‍''හොද ළමයෙක් වෙන්න දුවේ" කෘතියෙනි....

Monday, August 20, 2012

කාන්තාව රැකියාවක් කල යුතුද? නැද්ද?


කාන්තාව... කාන්තාව කියන්නෙ ඉතින්, සමාජෙ ජීවත් වෙන මිනිස්සු අතර නිතර අවදානයට ලක්  වෙන කෙනෙක්නෙ..මේ නිසාම විවිධ චෝදනා වලට ලක්වීම, දෝෂාරෝපණයට ලක්වීම, තාඩන පීඩන වලට ලක්වීම ,නින්දාවට පත්වීම විතරක් නෙවෙයි, ආකර්ෂණයට, ගෞරවයට වගේම ආදරයටත් කාන්තාව හසු වෙනවා...

ඒ වගේම ඈත අතීතයේ ඉඳන්ම කාන්තාව, එහෙමත් නැත්තම් ගැහැනිය මුල් කරගෙන විවිධ දේවල් නිම වෙලා තියෙනවා. කලා නිර්මාණ බොහෝමයක් පාසා කාන්තාවගේ මූලිකත්වය මත ,කාන්තාව මුල් කරගෙන නිම වෙලා තියෙනවා. කවි කතාන්දර වගේම විවිධ ආප්තෝපදේශ පවා කාන්තාවන් වෙනුවෙන් කියැවිලා තියෙනවා.. මේ විදියට කාන්තාව මේ අපේ රටේ, මේ සමාජය ඇතුලේ විවිධ භූමිකා තුළින් ඉස්මතුවෙලා තියෙනවා. අදටත් එය එසේමයි...

ඉතින් දැන් එන්නම්කෝ මාතෘකාවට... මෙහෙම විවිධ අවස්ථාවලදි, විවිධ කාරණා ඔස්සේ කතාබහට ලක්වෙන කාන්තාව, රැකියාවක් කල යුතුද , නැද්ද කියන කාරණාවත් කාලයක් තිස්සෙ නෙවෙයි, අදටත් සමහරු එක එක මතයන් ඉදිරිපත් කරනවා. 

කොහොම නමුත් මොන මතය ඉදිරිපත් වුනත්, තමන්ගෙ පවුල රැකගන්න, දරුවන්ට සැපවත් ජීවිතයක් ලබා දෙන්න, ජීවිතේ ගෙවන්න තමන්ගෙ සැමියාට හයියක් වෙන්න, මේ වගේ නානාවිධ හේතු මත කාන්තාවෝ රැකියා කරන්න පෙළඹෙනවා.(රැකියා කිව්වෙ මේ ලෝකෙ පැරණිතම රැකියාව හැරුනු කොට අනිත් රැකියා. පැරණිතම රැකියාව පැත්තකින් තියලා කතා කරමුකෝ.)

අතීතයේ ඉඳන් අපේ කාන්තාවෝ තමන්ගේ ජීවන වෘතිකාව විදියට, එහෙම නැත්තම් තමන්ගෙ පවුලේ සුගතිය වෙනුවෙන් විවිධ දේවල් කර තිබෙනවා. මුදල් ඉපැයීම වෙනුවෙන් ඔවුන් පැදුරු විව්වා, ලණු ඇඹරුවා, ගොයම් කපන්න, එළවළු විකුණන්න, කිරි විකුණන්න,  ආදි නොයෙකුත් දේවල් කලා. ගමේ ලොකු වලව් වල වැඩ කරන්න, කෑම බීම වර්ග හදන්න  අපේ කාන්තාවෝ අතීතයේ සිටන්ම පුරුදු වෙලා හිටියා. ඒ තමන්ගෙ පවුල ජීවත් කරන්න , ස්වමිපුරුෂයාට හයියක් වෙන්න වගේ හේතු නිසා. අතීතයේ විතරක් නෙවෙයි අදටත් මේ දේවල් කරන කාන්තාවෝ ඕනෙ තරම් ගම් වල ඉන්නවා...

ඒ අතීතයේ.. 
ඒත් අද වෙද්දි ලෝකෙ හුඟාක් දියුණු වෙලා තිබෙනවා.මිනිස්සුන්ගෙ සමාජ ක්‍රමේ නොයෙකුත් වෙනස්කම් වෙලා තියෙනවා. අධ්‍යාපන ක්‍රමය, ජීවන රටාව බොහෝ සෙයින් දියුණුවට පත් වෙලා තියෙනවා. මේ නිසා එදාට වඩා අද තත්වය වෙනස් වෙලා තියෙනවා. අද සමාජයේ පිරිමි ළමුන් මෙන්ම සමව ගෑනු ළමුනුත් අධ්‍යාපනය අතින් ඉදිරියටම යන අතරම, දෙපාර්ශවයම රැකියා ඉලක්ක කරගෙනම ඉගැනීමට පුරුදු වී තියෙනවා. යම්තාක් දුරට ස්වාධීන වෙන්න උත්සාහ කිරීමත් මෙයට හේතුවක් වෙන්න පුළුවන්.රජයේ ආයතන වල, පෞද්ගලික ආයතන වල, කර්මාන්තශාලා වල ආදී ,බොහෝ රැකියා ස්ථාන වල කාන්තා පාර්ශවයේ සහභාගීත්වයක් දැකගන්න පුළුවන්. උගත්කම අතින් ඉදිරියට යන්න උත්සාහ කරන වත්මන් කාන්තාව රැකියාව ලෙසත් උසස් ආයතන ,සමාගම් වල සේවයට පෙළඹිලා තියෙනවා.

ඒත් වර්තමානෙ සමහරුන්ගෙ මතයක් තමයි, කාන්තාවක් රැකියාවක් කිරීම පවුල් සංස්ථාව බිඳවැටෙන්න, දරුවන්ගෙ සෞඛ්‍ය තත්වය, අධ්‍යාපනික මට්ටම,සමාජීය සම්බන්ධතා ආදිය දුර්වල වෙන්න හේතුවක් කියන මතය.

ඇත්තටම ගෙදරක අම්මා රැකියාවකට යනවානම්, දරුවන්ට ඉටුවෙන්න ඕනෙ සමහර යුතුකම් පැහැර හැරෙන්න ඉඩ තියෙනවා. නමුත් එයින් දරුවන් තමන්ගෙ වැඩ කටයුතු තමන් තනිව කරගන්න හැකියාව වර්ධනය කරගැනීමත් සිදුවෙනවා.හැම දේකම දෙපැත්තක් තිබෙන නිසා, මමනම් හිතන්නෙ හොද නරක දෙකම මෙයින් සිදුවෙනවා කියන දෙයයි. නමුත් දරුවෙක්ට අම්ම කෙනෙක්ගෙ රැකවරණය උණුසුම ආදරය ඕනෑම අවදියකදි , අම්මා දරුවන්ගෙන් ඈත් වෙලා සල්ලි හොයන්න අරගල කරන එකනම් ටිකක් අර්බුධකාරී තමා. නමුත් වෙන විකල්පයක් නොමැතිනම් සියළුම දේ දරුවන්ගෙ අනාගත අභිවෘද්ධිය තකා නම්, එතනදි එය සාධාරණය කරන්නත් පුළුවන් නේද?

සමහර ස්වාමිපුරුෂයා අහිමි වුනු ,දරුවන් එක්ක මේ ලෝකෙ තනිවුනු කාන්තාවන්ට වෙනත් පිළිසරණක් නැති තැන ඔවුන් රට රැකියාවක් තෝරගන්න පෙළඹෙන්න පුළුවන්. දරුවන්ට උගන්වන්න, වේලක් නෑර බත් කටක් කවන්න ඔවුන්ගෙ ඒ දහඩිය මහ්න්සියෙන් උපයන සල්ලි වලට පුළුවන්. කන්ද උඩරට වතුකර ජනතාවට වේලක් ඇර වේලක් බඩ පුරවගන්න නම් , අම්මායි තාත්තායි දෙන්නා විතරක් නෙවෙයි, දරුවන්ටත් වතු වල වැඩ කරන්න වෙන අවස්ථා ඇති. බොහොමයක් දුෂ්කර පළාත්වල වැඩිදුර ඉගනත්තෙ නැති, පහසුකම් නැති දුප්පත් පවුල්වල  ගෑනු ළමයි ගාමන්ට් වල රැකියා හොයාගෙන කොළඹ එන්නෙ ආසවට නොවෙන්න පුළුවන්.. ඉගනගන්න නංගි මල්ලිට උදව්කරන්න, අම්මා තාත්තාට වේලක් කන්න හයියක් වෙන්න ඇඳුම් මහන්න කොළඹ ආපු ගෑනු ළමයි ඕනෙ තරම් මේ රටේ ඉන්නවා.

මමනම් හිතන්නෙ ඕනෙම සදාචාර සම්පන්න රැකියාවක්( සදාචාර සම්පන්න බව මනින සාධක මම කියන්න ඕනෙ නෑ නේද? අපේ රටේ මිනිස්සු සදාචාරසම්පන්න බව හිස්මුදුනෙ තියාගෙන ජීවත් වෙන ජාතියක් නිසා.) කරන්න කාන්තාව පෙළබෙන එකේ ලොකුම ලොකු වරදක් නෑ.. තමන්ට, තම්න්ගෙ පවුලට, ජීවිතේට හානියක්, නරකක්, අවැඩක් නොවෙන ඕනෙම රැකියාවක් අවබෝධයෙන් ගෞරවයෙන් කරලා සල්ලි හම්බ කරන් ජීවත් වීම කාන්තාවකට අකැප දෙයක් නෙවෙයි. නමුත් කාන්තාවකට පුලුවන් නම් තම්න්ගෙ පවුල් ජීවිතය, දරුවෝ රැකගෙන,දරුවන්ගේ ස්වාමියාගෙ කටයුතු පැහැර නොහැර, සියලු දේ කළමණාකරනය කරගෙන සහයෝගයෙන් වැඩ කරන්න.....,  මම හිතන්නෙ ඒ තමා කාන්තාවකගේ ජයග්‍රහණය.

සියලුම දේ පවතින්නෙ තමන්ගෙ ක්‍රියාව මතයි. තමන් තමන්ගෙ ජීවිතේ ප්‍රතිපත්ති රැකගෙන, ගෞරවයෙන්, අවංකව කටයුතු කරන්න ඕනෙම කෙනෙක් දන්නවානම්, මම හිතන්නෙ කාන්තාවක් වුනත් , පුරුෂයෙක් වුනත්, කිසිම බේදයකින් තොරව ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්...

කාන්තාවක් රැකියාවක් කිරීම හොඳද නරකද කියලා තීරණය කරන්න, මත ඉදිරිපත් කරන්න පුළුවන්, ඒ කාන්තාව හා රැකියාව මත වගේම, ඇගේ ක්‍රියාවන්  අනුව කියලායි මම හිතන්නෙ. ඒ මගේ මතය. ඔයාගේ මතය????

Wednesday, August 8, 2012

සදාකාලිකවම....



පවන වී හමන්නම්
ඔබේ විඩා දුරලන්න
ලංවෙලා හිඳින්නම්
ඈත් වී නොමයන්න
සඳක් වී දිලෙන්නම්
ඔබේ ලොවේ තරුවක් වෙන්න
අනේ හිත රිදවලා නම්
එපා වෙන් වී යන්න.............
මී බිඳක් වෙන්නම්
දෙතොලතර මිහිරක් වෙන්න
සුසුම වී රැඳෙන්නම්
හැමදාම ළඟ ඉන්න
හදවතේ ඉඩ තියෙනවානම්
මලක් වී සුපිපෙන්න
අනේ වෙන් වෙලානම්
කිසිදිනක නොම යන්න.....