Thursday, July 12, 2012

තාත්තා නැති අපිට ,දුක් ගිනි ඇවිළෙන්න එපා!!!!



A Fathers Love for his daughter



මම කාව්‍යා ..ඔන්න මමත් එකතු උනා ගැහැණු ළමයි එක්ක හොදේ.ඉතින් මේ මගේ පළවෙනි පෝස්ට් එක ගැහැණු ළමයින්ට.පළවෙනි එකම ටිකක් දුක්බර සංවේඳී කතාවක්.


ම්ම්ම් අපි මෙහෙම හිතමු තමන්ගෙ තාත්තගෙ එහෙමත් නැත්තන් අම්මගෙ අකල් මරණය ගැහැණු ළමයෙක් කොහොමද දරාගන්නෙ....? එයාට මොනවද දැනෙන්නෙ...?හිතාගන්නවත් බෑ නේද...? හිතා ගත්තත් කොහොම ඒවා වචන වලට හරවන්නද...?ජීවිතේ හොදම වයසෙදි මමත් මේ බියකරු අත්දැකීම ලැබුව.ගල්කිස්ස කනත්තෙ ආදාහනාගාරයේ දුම් බටෙන් තාත්තගෙ සිරුර දැවි දැවී නගින දුම් දකිනකන්ම මම ඒ ඇත්ත පිළිගන්න මැලි උනා.අදත් එතන පහු කරන් යද්දි මට දැනෙන මල මුස්පේන්තු හැඟීම විස්තර කරන්න සිංහල හෝඩියේ මම දන්න අකුරු මදි.ඒ ගැන මම ගොඩක් කතා කරන්න යන්නෙ නෑ එහෙම උනොත් මට මේක ලියාගන්න බැරුව යනවා.

මේ හැම දේම ආයෙ ආයේ මට මතක් උනේ ඊයේ පෙරේදා මගේ හොදම යෙහෙළියකගේ පියාගේ අවමගුලකට සහභාගි වෙන්න මට සිද්ධ උන නිසයි.සාමාන්‍යයෙන් මම අවමගුල් උත්සව හිතා මතාම මඟහරින කෙනෙක් ඒ හේතු දෙකක් නිසා පළවෙනි එක මළගෙවල් වල මල් වඩම් වලින් එන අමුතු සුවඳ (ගඳ )මට දරාගන්න බෑ,අනිත් කාරණේ කවුරුවත් අඬනවා බලන් ඉන්න බැරිකම .මෙන්න මේ හේතු නිසා මළගෙවල් වලට මගේ සහභාගිවීම බොහොම අඩුයි.ඒත් මේ නම් නොයාම බැරි එකක්. ඒ නිසා ගියා.මළගෙදරක උච්චතම අවස්ථාව මිනිය ගෙදරින් එලියට ගන්න මොහොත හා භූමදානය හෝ ආදාහනය කරන මොහොත. මෙහෙත් ඒකේ වෙනසක් තිබුනේ නෑ.අඬල දොඩල හෙම්බත් වුන මගෙ යාලුවට හරියට සිහියක් පතක්වත් තිබුනේ නෑ.මම එයා තුලින් දැක්කෙ මාවමයි.මං වගේම තවත් ගැහැණු ළමයෙකුට තමන්ගේ ආදරණීය පියා අහිමි උනා නේද කියන හැඟීම මගේ ඉහ මොළ පසාරු කරගෙන ගියා.

ජීවිතෙ හොදම වයසෙදි දරුවෙකුට තාත්තෙක් අහිමි වෙනවා කියන්නේ සුලුපටු කාරණයක් නෙවෙයි.විශේෂයෙන්ම ගැහැණු ලමයෙකුට පියාගේ අත්වැල , රැකවරණය ආදරය අහිමිවෙනවා කියන්නෙ ජීවිතේ හරි අඩක් නෑ ..එහෙමත් නැත්තම්,සම්පූර්ණයෙන්ම කඩාවැටුණා හා සමානයි.කාලෙත් එක්ක දුක තුනී වෙනවා කඳුළු වේලෙනවා තමයි ..ඒත් ,දරුවෙක්ට අම්මෙක් තාත්තෙක් නැති අඩුව වෙන කාගෙන්වත් වෙන කොහෙන්වත් සම්පූර්ණ කරන්න බෑ. ඒක තමා ඇත්තම ඇත්ත.

ඉස්කෝලේ උසස්පෙළ පංති වලදීත් අනිත් සේරම වැඩ පැත්තක දාලා මගේ තාත්ත මාව එක්ක යන්න හරියට 1.30 වෙද්දි ඉස්කෝලෙ ගේට්ටුව ගාව හිටිය.මගේ බෑග් එක එයාගෙ කරට දාගෙන අතින් අල්ලලා මාව පාර පැන්නුව.එහෙව් තාත්තා මාව ඒ අතින් අල්ලලා පෝරුවට නග්ගන්න ඉන්නෙ නැතුව ඉක්මනටම යන්න ගියා.මහ ලොකු කෙල්ලෙක් වෙලත් තාත්තගෙ කකුල් දෙක උඩ නැගල ඔන්චිලි පදිද්දි " දැන් ඔයා බරයි මේවා කරන්න බෑ මගේ මුණුබුරෙක්ව හරි මිණිබිරියෙක්ව හරි තමා ආයෙත් මෙහෙම උඩ දාන්නෙ " කියල හීන මවපු එයා ඒ හීනේ එළි නොකරගෙනම යන්න ගියා.

දරුවො කොච්චර උස්මහත් උනත් දෙමාපියන්ට එයාලා පුංචි දරුවන් ගානයි.සමහර අවස්ථාවලදී "දැන් ඔයා ලොකුයි ඕවා තනියම කරගන්න පුලුවන් වෙන්න ඕනෙ " කියන එයාලම තමා සමහර තැන් වලදී " තාම පොඩි උන් ඔයාලට මේවා කරන්න බෑ " කියන්නේ.එකම වයසෙදි විවිධ අවස්ථාවලදි කොහොමද මෙහෙම ලොකු වෙන්නෙයි පොඩි වෙන්නෙයි කියල ඉස්සර මම තාත්තා එක්ක තර්ක කරල තියෙනව. ඒත් දැන් මම දන්නව ඒ ආදරේට කියල.හැම තැනකදිම එයාල බලන්නෙ අපිව නපුරෙන් බේරන්න. අපිව ආරක්ශා කරන්න.

හැම තාත්තෙක්ටම තාත්තෙක් උන පළියටම ආදරණීය තාත්තෙක් වෙන්න බෑ, ප්‍රශංශා ලබන්න බෑ ,දරුවන්ගේ හිතේ සදාකාලයටම ජීවත් වෙන්න බෑ.එහෙව් තාත්තෙක් වෙන්න වගේම ,එහෙව් තාත්තෙකුගේ දරුවෙක් වෙන්නත් වාසනා කරන්න ඕනෙ.මම එහෙම වාසනාවන්ත ගැහැණු ළමයෙක් .මගේ පියා එහෙම වාසනාවන්ත පියෙක්.

මම මෙතනදී විශේෂයෙන් තාත්තා ගැන කතා කලාට අම්මා කෙනෙකුගේ වියෝවත් මේ හා සමානයි.ගැහැණු ළමයෙකුට සමහර විට ඒ අහිමිවීම තාත්තෙකුගේ අහිමි වීමටත් වඩා බරපතල වෙන්න පුලුවන්.මොකද ගැහැණු දරුවෙක් ළඟින්ම ඉන්නේ අම්මා. ඒ යෝධ හෙවනැල්ල ජීවිතෙන් ඈත් වෙලා ගියොත් කාටද ඒ අඩුව පුරවන්න පුලුවන් ...? මිහිතලය කම්පා වෙන්න ඇඬුවත් හැපුනත් ඒ වේදනාව කෙලවර වේවිද...?

සමහර දෙමාපියන් දරුවන්ගේ ලෝකයෙන් මේ විදියට සදහට සමුගෙන යනවා.ඒ වගේම තමයි සමහර දෙමාපියන් දරුවන්ගේ සැපත සතුට වෙනුවෙන්ම එයාලගෙන් දුරස් වෙලා දේස දීපංකරේ ගිහින් මුදල් හම්බකරනවා.දෙරටක තනිවෙච්ච ඒ මව්පියන්ගෙ , ඒ දරුවන්ගෙ හිත් වල මොන තරම් ගින්දරක් ඇවිලෙනවා ඇද්ද..?අඩුම තරමේ සිංහල අවුරුද්දකටවත් එක මේසෙ වාඩි වෙලා එකට කිරිබත් කෑල්ලක් කන්න තරම්වත් වරම් නැතුව හූල්ලන ඒ ආත්ම කොයි තරම්නම් හිතින් වැලපෙනව ඇද්ද...?ඒත් එයාලා යම් තරමකට හරි වාසනාවන්තයි. මොකද දෙපැත්තක හිටියත් එකම ඉරක් එකම හඳක් යට එයාලා ඔවුනොවුන් වෙනුවෙන් හුස්ම ගන්නවා.

උපන්නොත් කෙනෙක් දිනෙක මේ මහ පොලවට පස් වෙනවාමයි... ඒක තමා බුදු බණ... ඒක තමා ලෝක සත්‍ය.මරණයේ දුක මිය යන්නාට නොව ජීවත් වන්නාටයි.ඒක මොන තරම් දුක උනත් නියම හපන්කම ඒ කෙනා වෙනුවෙන්ම හැපි හැපී ජීවිත කාලෙම හීල්ලීම නොවේ.ඒ කෙනා වෙනුවෙන් ජීවත් වීමයි.ඒ කෙනා ජීවත් කරවූ අය ජීවත් කරවීමයි.

ඉතිං එහෙම හිතෙ හයියෙන් ජීවත් වෙන අම්මා තාත්තා අහිමිවුණ ඕන තරම් දිරිය දියණියෝ මේ රටේ ඉන්නවා..මේ ලෝකේ ඉන්නවා... ජීවිතේ කියන්නේ හිමිවීම් විතරක් නෙවෙයි.. ජීවිතේ කියන්නේ බැඳීම් විතරක්ම නෙවෙයි.අහිමිවීම් තියෙන්න පුලුවන්... බැඳීම් ලෙහෙන්න පුලුවන්...ජීවිතේ අත්වැල ගිලෙහෙන්න පුලුවන්...ඒ හැම දේම සම සිතින් විඳ ගෙන ජීවිතේට මුහුණ දෙන ගැහැණු ආත්ම මොන තරම් ඇද්ද...
නැතිවෙච්ච තාත්තා වෙනුවෙන්, නැතිවුනු අම්මා වෙනුවෙන් ඇස් වල කඳුළු හංගගෙන , ජීවිතේ දිනන සටන මෙහෙයවන දිරිය දියණිවරු මොන තරම් ඉන්නවාද.. ඒ අය හැම අම්මෙක් තාත්තෙක්ටම ආශිර්වාදයක්...අම්මා අහිමි පවුලට අම්මා වෙච්චි දුවලා , අම්මා අහිමි මල්ලිට අම්මාගෙ සුවඳ බෙදන්න උත්සාහ කරන අක්කලා ලෝකෙටම සම්පතක්... තාත්තා නැති පවුලෙ බර කරට අරන්, තාත්තාගෙන් දුවට වෙන යුතුකම් ඉටු කරන්න නැහෙන අයියලාත් ආදර්ශයක්!!!

අවසාන වශයෙන්,ජීවිතේ හැටි එහෙමයි... මොන දුකක්, මොන කරදරයක්, මොන බාධකයක් ආවත්, මහ මුහුද තරම් කඳුළු ඇස් වලින් ගැලුවත්, ගැහැනු හිත් වල හයිය කොයි මොහොතක හරි මතු වෙනවා.. එහෙම මතුවෙන ශක්තියෙන්, ඒ හයියෙන්, ජීවිතේ හුඟාක් දුර යන්න පුළුවන්...

ඉතින් ලියන්න තව බොහේ දේ තිබුනත් මම මෙතනින් මේ පෝස්ට් එක නවත්තනවා.ආයෙ දවසක මේ ගැන කතා කරනන් පුලුවන් කමක් තිබුනොත් අපි කතා කරමු.අවසානයේ මගේ එකම පැතුම වන්නෙ මෙයයි... මට වගේ , මගේ යෙහෙළියට වගේ ,කිසිම දරුවෙකුට ,කිසිම දියණීයකට, ගැහැනු ලමයෙකුට ,අකාලයේ පිය සෙනෙහස අහිමි නොවේවා!!!










58 comments:

  1. Niyamayi shani akkia
    digatama liyanna

    (HITUWAKKARA SAMANALAYA)

    ReplyDelete
    Replies
    1. ස්තූති මල්ලි ...ඔයාව ආදරෙන් පිළිගන්නවා ගැහැණු ළමයි වෙනුවෙන්

      Delete
  2. කුඩා කලදී මවගේ සෙනෙහස දරුවන්ට ගොඩාක් අවශ්‍ය උනත්, උස් මහත් වෙලා තරුණ අවදියට එනකොට පියාගේ හයිය ඕනෑම දරුවෙකුට අවශ්‍යයි. ඒ හයිය, ශක්තිය තරුනවදියේදී අපි සමාජය හා ගැටෙන්න ගත්තහම තදින් අවශ්‍ය දෙයක්. ඒ ශක්තිය නැති නම් විවිද අවස්තාවලදී අසරණ වන්නට වන අවස්ථා බොහොමයි.

    දෛවය මේ විදියට ඒ සෙනෙහස, ශක්තිය ජීවිත වලින් ඈත කරයි කියලා අදර්යමත් වෙලා වැඩක් නැහැ. කොහොම හරි ඒ දේට මුහුණ දෙන්න වෙනවා. හිතන්න ඕනේ කවදහාරි තමන්ගේ දරුවෙකුට හොද මවක හෝ පියෙක් විදියට ඔවුන්ට රැකවරණය ලබාදෙනවා කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාර‍යෙන්ම

      Delete
  3. 'ගල්කිස්ස කනත්තෙ ආදාහනාගාරයේ දුම් බටෙන් තාත්තගෙ සිරුර දැවි දැවී නගින දුම් දකිනකන්ම මම ඒ ඇත්ත පිළිගන්න මැලි උනා.අදත් එතන පහු කරන් යද්දි මට දැනෙන මල මුස්පේන්තු හැඟීම විස්තර කරන්න සිංහල හෝඩියේ මම දන්න අකුරු මදි.'

    'ඉස්කෝලේ උසස්පෙළ පංති වලදීත් අනිත් සේරම වැඩ පැත්තක දාලා මගේ තාත්ත මාව එක්ක යන්න හරියට 1.30 වෙද්දි ඉස්කෝලෙ ගේට්ටුව ගාව හිටිය.මගේ බෑග් එක එයාගෙ කරට දාගෙන අතින් අල්ලලා මාව පාර පැන්නුව.එහෙව් තාත්තා මාව ඒ අතින් අල්ලලා පෝරුවට නග්ගන්න ඉන්නෙ නැතුව ඉක්මනටම යන්න ගියා.මහ ලොකු කෙල්ලෙක් වෙලත් තාත්තගෙ කකුල් දෙක උඩ නැගල ඔන්චිලි පදිද්දි " දැන් ඔයා බරයි මේවා කරන්න බෑ මගේ මුණුබුරෙක්ව හරි මිණිබිරියෙක්ව හරි තමා ආයෙත් මෙහෙම උඩ දාන්නෙ " කියල හීන මවපු එයා ඒ හීනේ එළි නොකරගෙනම යන්න ගියා.'

    මෙන්න මේ අවස්ථා දෙකම මගේ හිතට සෑහෙන දුකක් ලඟා කළා යාළු.. :(

    ඉතා සංවේදී පොස්ටුවක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතී හිරූ.... මගේ තාත්තා ගැන සොඳුරු මෙන්ම මේ වගේ අඳුරු තැනුත් මතක් වෙද්දි හැමදාම මගේ ඇ ස්දෙකට කඬුලු උණනවා

      Delete
  4. කියන්න දෙයක් ,ලියන්න දෙයක්.............. හිතා ගන්න බෑ

    ReplyDelete
  5. හැම තාත්තෙක්ටම තාත්තෙක් උන පළියටම ආදරණීය තාත්තෙක් වෙන්න බෑ

    මේක තාම ඇත්තම ඇත්ත


    (ඔන්න මමත් මෙහාට ආවා කමක් නැද්ද දන්නේ නැ ආවට ?)


    ප.ලි අපේ කාවයියා(කාව්‍ය )තාම මට මේ ගැන කිවුවේ ස්තුතියි කාවයියා

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා ඔයාව මෙහෙට ලක්ස්

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඔව් අක්කි අපි කාටත් මේ ජීවිතයේ අම්මා තාත්තා දෙන්නගෙම ආදරය රැකවරණය ඔනේ..ඒ සෙනෙහස නැතිවුනාම දරාගන්න ශක්තියක් අපි කාටවත් ඉතුරු වෙන්නේ නැහැ..ඒ වගේම ඒ දුක, වේදනාව තරම් දෙයක් තවත් මේ ලෝකේ නැතිව ඇති..අක්කි වගේම මමත් ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ කිසිම දරුවෙක්ට ඒ වගේ ඉරණමක් නම් අත්වෙන්න එපා කියලයි....

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ මටවන් දුකකනම් කාටවත් වෙන්න එපා

      Delete
  8. කවි අක්කත් ඇවිත්.. බොලේ දැන් මේකේ ඉන්නේ ඔක්කොම මම දන්න කියන අයමනේ.. :)

    කතාවනම් ගොඩක් සවේදියි අක්කේ.. ලස්සනට ලියලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඔව් නේ අක්කිලා විතරක්නම් මදෑ... පහන් තරුවත් මෙහෙනෙ නේද...?
      මේක කතාවක් නෙවෙයි මල්ලි මේක මගේ ජීවිතේ. ඉතින් ජීවිතේ ලියනකොට ප්‍රබන්ධයකට වඩා ප්‍රබලයි

      Delete
  9. එපා ඔටුණු මගෙ සිරසට
    එපා සිහසුනක් හිඳිනට
    සිනා සිසී මා එන මග සිටිනු මැනේ
    දුවේ කියා මා අමතන් පියාණනේ

    අනේ මගේ දූ සිඟිත්තට නම් එහෙම දෙයක් නොවේවා...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් කිසිම දූ සිගිත්තකට මෙසේ නොවේවා

      Delete
  10. ඇඩුනා ඇඩුනා ඇඩුනා....... :(

    ReplyDelete
  11. දුකයි අක්කේ
    ජීවිතේ අනිත්‍යයි, මොනවා කරන්නද, ලෝක ස්වබාවය

    ReplyDelete
  12. ඇහැට කදුළු බින්දුවක් ගෙනාපු අකුරු ටිකක්....

    ReplyDelete
  13. තත්තා කෙනෙක් කියන්නේ මහා මෙරක්. තාත්තා කෙනෙක් ලබන්නත් පින් කරන්න ඕනා. හොඳ තාත්තා කෙනෙක් ලබන්න ඊටත් වඩා පින් කරන්න ඕනා. ඊටත් වඩා ඒ තාත්තා' හැමදාම ලඟින් තියාගන්න අපි මොනාද කරන්න ඕනේ? හිතා ගන්නවත් බෑ..
    පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදි.
    ආදරෙයි තාත්ති. හැමදාමත් කළා, හැමදාමත් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ණා..... හොද තාත්තෙක් ලබන්න පින් කරන්න ඕනේ.ඒත් හොද මිනිස්සුන්ට ආයුෂ අඩුයි

      Delete
  14. මොකුත් හිතාගන්න බෑ...

    ReplyDelete
  15. කියන්න තියෙන්නෙ එකම එක දෙයයි.. මේ පෝස්ට් එක බාගයක් දුරට කියවගෙන යද්දිත්, මගේ ඇඟ හිරි වැටිලා, කඳුලු ඇස් වල !! සංවේදීයි හුඟාක්!!

    ReplyDelete
    Replies
    1. මේක කියවලා ගොඩක් අය අඩලා හිතූ...

      Delete
  16. ගොඩාක් සංවේදී මේ වගේ සිද්දි වෙද්දී එ දරුවෝ කොහොම දරගන්නව්ද කියන්න මටනම් හිතා ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක හිතා ගන්න මේ අද්දැකීම විදින්න ඔනේ. ඒත් අනේ එහෙම වෙන්නනම් එපා

      Delete
  17. කාව්‍යා ඇත්ත ඒකයි. පිලිගන්න වෙනවා ඒක කවදා හරි...

    ReplyDelete
    Replies
    1. ඔව් මම ඒ ඇත්ත පිලිඅරන් ඉවරයි ඒත් අඩන්න එපා කිව්වට හිත අහන්නෙ නෑ

      Delete
  18. කාව්‍යා ඇත්ත ඒකයි. පිලිගන්න වෙනවා ඒක කවදා හරි...

    ReplyDelete
  19. අපි කාටත් මේ ජීවිතයේ අම්මා තාත්තා දෙන්නගෙම ආදරය රැකවරණය ඔනේ... කතාවනම් ගොඩක් සවේදියි! ලස්සනට ලියලා :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ අඩුව පුරවන්න මේ ලෝකේ කාටවත්ම බෑ

      Delete
  20. අපේ කිරි අම්ම මගේ අතෙදීම නැතිවුන වෙලාවේ මම දරගත්තෙත් හරිම අමාරුවෙන්. ඒත් ගැහැණු ළමෙක්ට එයාගේ තාත්ත නැතිවෙනවා කියන්නේ කොච්චර පිඩනයක්ද. දුකක්ද. පිරිමි ළමෙක් නම් කොහොම හරි ඉඳියි. ඒත් ගැණු ළමෙක්??

    ReplyDelete
    Replies
    1. තමන්ගෙම කෙනෙක් තමගෙ අතේම අන්තිම හුස්ම හෙලනවා කියන එක මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනවා

      Delete
  21. අප්පච්චි ගැන කියලා ඉවරයක්‌ කරන්න බැරි තරම්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ගුණ වයන්න සිංහල හෝඩියේ අකුරු මදි

      Delete
  22. මේක මගේ මුල්ම කමෙන්ට් එක වගේම අන්තිම කමේනට් එක වෙන්න පුලුවන් ආයෙත් මේකට නොයෙන්න හේතු කිහිපියක් තියෙනවා කිවියෝ.. මේක ගැහැනු ලමයින්ට විතරක් ගිය බොලොග් එකක් කියලයි මට හිතෙන්නේ.. හරියට ලිද ලග සංගමය වගේ.. සමාවෙන්න මේහෙම කියනවාට. මේක කියවද්දි දැනුනේ ගැහැනු ලමයින්ගේ පැත්ත විතරක් හිතනවා කියලා විතරයි..

    ඔයාගේ අත්දැකිම නම් හදවත පතුලටම වැදුනා.. එකේ කතා දෙකක් නැ.. ඇඩෙන්නම ලියලා තියෙනවා..

    මගේ අම්මා තාත්තා මට නැතිවෙනකෙට (තාම ජිවත් වෙනවා) මට වයස 7යි.. මැරැනානම් අනේ එයාලා මැරැනා කියලා හිත හදාගන්න තිබුනා.. එත් අහම්බෙන් දකින කොට දැනෙන දේ හිතාගන්න පුලුවන්ද? පිරිමි ලමයි කියලා බොලොග් හැදුවොත් එදාට මගේ අත්දැකිමත් දාන්නම්

    ReplyDelete
    Replies
    1. ඔයාට මේ ලිපිය කියවලා දැනුන හැගීම් ගැන මට හිතා ගන්න පුලුවන්, සමාවෙන්න හිත රිදුනනම්, ඒත් පූ මේ බ්ලොග් එක ගැහැණු ළමයි කීප දෙනෙක් ලිව්වට විශේෂයෙන් ගෑණු ළමයි ගැන කතා කලාට පිරිමි ළමයින්ට බලන්න තහනමක් නෑ, ඔයාලව අපි අඩු තක්සේරු කරල නෑ,ඔයා ලිඳ ළඟ සංගමේ කිව්වට ගෑණු අපි එකතු වෙලා පිරිමින්ව ගලේ ගහන්නෙ නෑ හොදේ හි හී.

      Delete
  23. තාත්තා නැති ගෙදරක් ගැන මට හිතාගන්නවත් බෑ :(

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුන කාලයක් තිබුනා... ඒත් ...දැන්....

      Delete
  24. කාවයා .. මම හිතන්නෙ අක්කියෙක්,., කියන්න තේරෙන්නෙ නෑ... හදවතේ,., සියුම් තැනකට අපි නොහිතන තැනකට ඔයා කතා කලා.. මම ආයෙ එනවා.. මේක ගැහැනු ලමයි උනත් තරහ වෙන්න එපා ගැහැනු ලමයිනේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති සුදු මහත්තයා.... සාදරෙන් පිලිගන්නවා ඔයාව

      Delete
  25. Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  26. කියන්නම හිතුනා.....

    දවසක් මම තාත්තත් එක්ක තරහා වෙලා ගෙදරින් ගියා...
    මගේ පණ වගේ යාලුවා මාව ආපහු එක්කන් ආවා... ගෙදර යන්න බෑ කියලා මම අපේ ගේ ළගම තිබුන ලොකු නැන්දලගේ ගෙදර ගියා...

    තාත්තා හවස ආවා... හැමෝම තාත්තට බැන්නා... තාත්තා මාව ඇදලා අරගෙන ඔඩොක්කුවෙන් තියාගෙන තුරැල් කරගෙන මගේ ඇස් දෙක දිහා බලලා හිනා උනා.... මට එතකොට හොදටම ඇඩුනා... මට තාත්තගෙ අසරණකම දැනුනා... මං ඇහුවා මං බරයි නේද කියලා.. තාත්තා මුකුත් කිව්වේ නෑ හිනාවෙලා මගේ නළල ඉම්බා.....

    එතකොට මට වයස 24යි.. ඊළග අවුරැද්දේ මම බැන්දා.... දැං මට තාත්තත් එක්ක දාගන්න වලිත් නැතුව පාළුයි..... තාත්තා නැති උනොත්.. අනේ මට හිතා ගන්න බෑ.....

    අනේ මේ මාව ඉක්මණට මෙහෙන් අරන් යන්න කියලා මගේ වෙන්ඩ මහත්තයට ලියුම් පිට ලියුම් යවපු මමමද මේ......

    ගෑණු ළමයිනේ.. ඔන්න මමත් ආවෝ.......

    ReplyDelete
    Replies
    1. ඔයාගේ දිග කමෙන්ට් එක මම අද දැක්කේ. ඉස්සෙල්ලාම ස්තූති කියනවා මෙහෙට ගොඩ වැදුනට හිරු ඔයාට.රන්ඩු වෙන්න තරහ වෙන්න තාත්තා නැති අඩුව මටත් ගොඩක් දැනෙනවා හිරූ.ඇත්තමයි ඒ අඩුව පුරවන්න කාටවත්ම බෑ.

      Delete
  27. මගේ කමෙන්ට් එක මිස් වෙලාද.....?

    ReplyDelete
    Replies
    1. නෑ හිරූ ඔය තියෙන්නෙ

      Delete
  28. අනේ හැගීම්බර ලිපියක් මං ඇඩුවා කවියො.. හම්ම් මගෙ රත්තරං තාත්තියා මාව දාලා ගිහිල්ලා තාම තුන්මාසයක් වුනෙත් නෑ,දරාගෙන ඉන්නවා ඒත් කොහෙන්දෝ ආපු ශක්තියක් එක්ක,තාත්තිගෙ රැකවරණය,උණුසුම නැති වෙලා නේද කියලා දැනෙද්දි හිතට දැනෙන අසරණ කම කොහොම කියන්නද..ඒ අඩුව නම් කවදාවත් මැකෙන්නෙ නැති වෙයි. හම්ම්.. ඇත්ත මෙහෙම දුකක් හතුරෙකුටවත් වෙන්න එපා!!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ තාත්තිගේ මළගෙදර ගිහින් ඇවිත් තමා මම මේ ලිපිය ලිව්වේ.මට ඒ මොහොත මගේ තාත්තගෙ මළගම ආයෙ ආයෙ මතක් කරල දුන්න.

      Delete
  29. හ්ම්ම් ගොඩක් දේවල් කියන්න තියෙනවා එත් වචන නෑ

    ReplyDelete
  30. පළමුවරට ගොඩවැදුනේ. ඔබ ලඟ හොඳ සිතුවිලි සංකල්පනා තිබෙනවා.

    ReplyDelete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....