මම ගැහැනු ළමයෙක්..!!
ඔව්., මේ ලෝකේ ජීවත්වෙන තවත් එක ගැහැනු ළමයෙක්....ආදරේ ජීවිතේ කරගෙන ඇස් දෙකෙන් ආදරේ විතරක්ම දකින්න කැමති සමනලියක් වගේ සැහැල්ලුවෙන් මේ ලෝකේ පුරා ඇවිදින්න හදන තවත් එක ගැහැනු ළමයෙක්..පුංචි පුංචි දේවල් වලටත් හිත රිදවගෙන ඇස්දෙක පිරෙන්න කදුලු පුරවගෙන පැත්තකට වෙලා තනියම අඬන ගැහැනු ළමයෙක්..කටින් පිටවෙන වචනයක් ගානේ දෙපාරක් හිතන වචනෙකින්වත් කාගෙවත් හිත නොරිද්දන අහිංසකව තැම්පත්ව ජිවිතය අරගෙන යන ගැහැනු ළමයෙක්..කෙනෙක්ගේ දුකක්, කරදරයක්, වේදනාවක් තමන්ගේ කරගෙන ඒ වෙනුවෙන් තැවෙන්න ,විදවන්න පුළුවන් ගැහැනු ළමයෙක්..කටක් ඇරලා වචනයක් කියන්නේ නැති ,ඔලුව උස්සලා කෙනෙක් දිහා බලන්නේ නැති හැමදේම නිෂ්ශබ්දව විද දරා ගන්න, ඒත් මේ ලෝකේම මේ සමාජෙම ජීවත්වෙන ගැහැනු ළමයෙක්......
මේ ඉන්නේ ඇත්තම ගැහැනු ළමයෙක්.බැලු බැල්මට නම් කා ගෙත් හිත යනවා ආදරේ හිතෙනවා එහෙම නේද..? බොහොම අහිංසකව ජිවිතේ ගෙනියන මේ වගේ ළමයෙක්ට ඇත්තටම කවුද අකමැති.හරි දැන් ඔයාලම කියන්න, හිතන්න මේ දේ නේද සමාජයේ කවුරුත් ගැහැනු ළමයෙක් තුලින් දකින්න කැමති..? මේ විදිහේ තැම්පත් කමක් නේද මේ ලෝකයා කියන්න හදන්නේ..?ගෑනු ළමයෙක් කිව්ව ගමන් ඔයාලගේ හිතේ ඇදෙන්නෙ මෙහෙම සියුමැලි, සෞම්‍ය, රූපයක් නේද? සමහරවිට මම වැරදිත් ඇති, ඔයා දන්න දා ඉදන් හිතේ ඇඳන් ඉන්න රූපයක් ඇති, ඦායාවක් ඇති.. ගෑනු ළමයෙක් කිව්ව ගමන් ඔයාට මතක් වෙන්නෙ ඔයාගෙ හිතේ ඇඳිලා තියෙන ඒ මනඃකල්පිත චිත්‍රේ වෙන්න ඇති...ඔව්.. වෙන්න පුළුවන්නෙක එක එක්කෙනා වෙනස්.. එක එක අයගේ අදහස් වෙනස්.. විවිධාකාරයි.. ඉතින්, ගෑනු ළමයෙක් කිව්වාම හිතේ ඇඳෙන අදහස්, ප්‍රතිරූපත් ඒ වගේම වෙනස් ඇති....
නමුත් ඇත්තටම ඒ විදිහට විතරක්ම ගැහැණු ළමයෙක් ජිවත්වුනාම ඇතිද..? ඒ තරම් අහිංසකව, බොළඳව, සියුමැලිව, බියගුළුව, තැන්පත්ව,ඕනෙම දෙයක් ඉදිරියෙ මුනිවත රැකගෙන, හරිම යටහත් පහත්ව විතරක් ජීවත් වුනාම ඇතිද..??අද සමාජය එක්ක මේ විදිහට ජීවත්වෙන එක හොදද..?මේ විදිහේ හැදියාවක් විතරමද ගැහැනු ළමයෙක් තුළ තියෙන්න ඕනී..?
ඔව්..., වෙන්න පුළුවන්..ඇත්තටම ගැහැනු ළමයෙක්ගේ කල් ක්‍රියාවක, හැදියාවක මේ දේවල් තිබිය යුතුයි.ඒක මම නැහැයි කියන්න හදනවා නෙමෙයි. මොකද නියම ගැහැනු ළමයෙක් විදිහට (මේ සමාජේ පිළිගන්න විදියට,සදාචාරාත්මක පසුබිමක , සංස්කෘතිය රැකගෙන) මේ සමාජයේ ජීවත් වෙන්න හොද හැදියාවක් අනිවාර්යෙන්ම ඕන බව හැම කෙනෙක්ම පිළිගන්න නිසා..නමුත් මේ විදිහටම ජීවත් වෙන්න ගියොත් ඒක අමාරු වෙන්නත් පුළුවන් නේද??.
මොකද මේ ජීවිතයේ ගැහැනු ළමයෙක් විදිහට ඕනම දේකට මුහුණ දෙන්නත් පුරුදු වුනේ නැත්තම්?? එහෙම වුනොත් මොකද වෙන්නෙ??ඇත්තටම ජීවිතේ ඕනාවට වඩා බොලඳ විදිහට ගෙවන්න ගියොත් ඒ ජිවිතේ නීරස වෙන්න පුළුවන් නේද? මංදා, මම හිතන්නෙ එහෙමයි.. මැරෙනකම්ම, ඒ මොහොත වෙනකම් ම ගෑණු ළමයෙක්ට, ගැහැණියකට නානාවිධ ප්‍රශ්න වලට මූණ දෙන්න වේවී..ඔව්.. එහෙම වෙනවා.. ඉතින් මේ ප්‍රශ්න වලට මූන දෙන්න, ධෛර්‍යෙන් ඒ දේවල් ජය ගන්න, ගෑනු ළමයෙක්ට හැකියාවක් තියෙන්න ඕනෙ නේද??
ආදරේ, හීන, බලාපොරොත්තු මේ දේවල් ගැහැණු ළමයෙක්ගේ ජීවිතේක තියනවා වැඩියි.නමුත් ඒ දේවල් වලට විතරක්ම යටවෙලා ජීවත් වෙන්නත් අමාරුයි.
"උදාහරණයක් විදිහට මම ආදරේ ගන්නම්.මේ ආදරේ පුංචි කාලේ ඉඳන් ගෙදරක අම්මගෙන් තාත්තාගෙන් වැඩිපුරම හොයන්නේ ගැහැනු ළමයි.ඒක නිසානේ, පොඩ්ඩක් අම්මා තාත්තා සැරවුනොත් මුල්ලකට ගිහිල්ලා නොකා නොබි පැය ගාණක් යනකම් අඬන්නේ.ඒ මොකද ඒ වෙලාවට හිතෙනවා අම්මා තාත්තා අපිට ආදරේ නැහැ කියලා.ඉතින් ඔය මානසික මට්ටමින් හැදෙන වැඩෙන ගැහැනු ළමයෙක් අර අපේ අම්මලා කියනවා වගේ කරදඩු උස්මහත් වුනාට පස්සෙවත් වෙනසක් වෙන්නෙ නම් නැහැ.ඉතින් ඒක නිසාම ඒ පුංචි කාලේ දි අම්මගෙන් තාත්තාගෙන් බලාපොරොත්තු වුන ආදරේ තමයි ලොකු වුනාම තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත්.
ඒක එහෙම නෙවෙයි කියන්න පුළුවන්ද?ඉතින් එදා අම්මා තාත්තා ආදරේ නැහැ කියලා හිතලා නොකා නොබි අඬපු ගෑනු ළමයා ,පස්සෙ කාලෙකදි තමන්ගේ ආදරේ නැතිවුනාම ඉවසගන්න බැරිව මැරෙන්න හදනවා.ආදරේ කියන්නේ ජීවිතේක පටන් ගැන්මක් මිස අවසානයක් නෙමෙයි කියලා තේරුම් ගන්න ශක්තියක් ඒ මොහොතේ ඇත්තටම නැතුව යනවා.අනිත් එක හිතන්නේ ආදරේ කොහොම හරි ලබා ගන්නම ඕනි කියලා.නමුත් ආදරේ කියන්නේ ඇත්තටම පරිත්‍යාගයක්.ඉතින් නොලැබුණ ආදරයක් වෙනුවෙන් තැවෙන විදවන එක මහ මෝඩ වැඩක්. (ඔන්න මම කියන්නේ නැහැ ආදරේ වෙනුවෙන් දුක් වෙන්න එපා කියලා නම්.මම මේ කියන්නේ නැති වුනත් ඒ ආදරේ වෙනුවෙන් ජීවත් වෙන්න කියලයි) නමුත් මේ දේ නොතේරෙන්නේ සමහරවිට ගැහැනු ළමයෙක් විදිහට ජීවිතේ ගැන අවබෝධයක් හරි හැටි නැති නිසානේ.යථාර්තයට මූන දෙන්න ආත්මශක්තිය මදිකම නිසානෙ.ඒක නිසා මේ ජීවිතේ ගැහැනු ළමයෙක් විදිහට බොළඳ වෙලා, හීන ලෝක වල ජීවත් වෙලා, බලාපොරොත්තු කඳු විතරක්ම ගොඩගහගෙන ඉදලා,තීරණයක් ගන්න, ඒවා ක්‍රියාත්මක කරගන්න, බැරුව සමාජෙට මූණ දෙන්න නොදැනනම් ජිවත් වෙන්න ඇත්තටම අමාරුයි... ඔව්...හුඟාක් අමාරුවෙයි...."
හීන ලෝක මවාගෙන ,ඒ වගේ උඩ පැන පැන ජීවත් වුනාට කමක් නැහැ.නමුත් කවදම හරි දවසක ඒවා කඩාගෙන වැටෙන බවත් හොද හැටි තේරුම් අරගෙන ඉන්න ඕනී. (හීන ලෝක මවා ගත්තට කමක් නැහැ කිව්වේ නම් ගැහැනු ළමයෙක් සාමාන්‍යයෙන් කොහොමත් හීන බලන්න ආස නිසයි) ඇත්තටම තමන්ගෙ හැදියාව තුල මොන විදිහේ ක්‍රියා කලාපයක් තිබුණත්, මේ මහ පොළවේ පය ගහලා ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනී.හැබැයි ඉතින් පුංචි පුංචි දේවල් වලටත් හොටු පෙරාගෙන අඬලා නම් ඒ දේ කරන්න කවමදාවත් බැරිවෙයි.කඳුලූ කියන්නෙ කිසිම වටිනාකමක් නැති, නිකන්ම නිකන් බොරුවක් විතරක් විදියට ගලාගෙන යන්න දෙන එක අපරාදයක්.. ඒ කඳුළකට වුනත් වටිනාකමක් දෙන එකයි යුතුකම.ඒ නිසා ගැහැනු ළමයෙක් විදිහට අනාගතේට මුහුණ දෙන්න මේ හිත තුල හොද ආත්ම ශක්තියක් ගොඩ නගා ගන්න ඕනේ... තමන් දුර්වලයි කියලා මොහොතකට හරි දැනුනොත්, ඒ මොහොතේ ඉදන්ම උත්සාහ කරන්න ඕනෙ ,ඒ දුර්වලකම ජය ගන්න.
ඒ විතරක්ද,ඉස්සර නම් ගැහැනු ළමයෙක් කියන්නේ ගෙදරකට බරක්ලු.නමුත් අද නම් ඒ දේ ගොඩක් වෙනස් වෙලා තියනවා.ඒත් මේ වෙනස තියෙන්නේ ටික දෙනෙක් අතර විතරයි.එහෙම වෙන්නේ නැතිව හැම කෙනෙක්ම හොද ආත්ම තෘප්තියක් එක්ක වැඩ කරන්න පුරුදු වුනොත් ගැහැනු ළමයෙක් විදිහට අනාගතේට තනියම වුනත් මුහුණ දෙන්න හැකියාවක් ඇති කර ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.කොහොමටත් මේ ජීවිතේ අපි කාටවත්ම බරක් වෙන්න ඔනීත් නැහැනේ...එහෙම නේද..?
ඉතින් මමත් ගැහැනු ළමයෙක් විදිහට අවසාන වශයෙන් ඔයාලට කියන්න කැමති විදින්න තියෙන ජිවිතේ විදවන්නේ නැතිව, මේ සමාජයට බයේ පෑගිලා ජිවත් වෙන්න උත්සහ කරන්නේ නැතිව ,හොද අවබෝධයක් ඇතිව ,නියම ගැහැණු ළමයෙක් විදිහට ජිවිතේට මුහුණ දෙන්න කියලා....ගැහැණු හිතකට කරනන් බැරි දෙයක් නෑ.
මේ ලෝකෙ වෙනස් වුනු හුඟාක් තැන් වල යෝධ ගැහැනු ආත්ම වැලලිලා හරි තිබිලා තියෙනවා. ඒ වගේම ගැහැනු හිතක් ධෛර්‍යමත් වුනොත්, දෙයක් කරනවා කියලා හිතුවොත්, දෙයක් වෙනුවෙන් සටනට ආවොත්..... ,දිනලාම තමයි නවතින්නෙ... එහෙම දේවල් ඉතිහාසයෙන් පවා ඔප්පු වෙලා තියෙනවා..
ඉතින්, ආදරණීය ගැහැනු ළමයිනේ.... මේ ජීවිතේ ඔයාලා ඉස්සරහට තිබ්බ පයක් ආපස්සට තියන්න හිතන්න එපා.. මොන බාධක ආවත්.. නොසැලීම ඉදිරියටම යන්න....!!!
ජය වේවා!!