Tuesday, May 29, 2012

මතකයන් දිගේ....




අපි හැමෝටම අපිටම කියල ලෝකයක් තියනවා.
ඒ ලොකේ ඉන්නෙ, සුලු චරිත ගානක්. සමහරවිට ඔයයි මායි විතරක් වෙන්නත් පුලුවං.
එක පුද්ගලයෙක්ගෙ වෙන්ව යාමක් ජීවිතයට තදින්ම දැනෙන්න ඒක ලොකු හේතුවක් වෙන්න ඇති.

තෙත ඉහුන සුළඟ යට
ඉරා පද එකින් එක
විසිකරමි
බොල් සුලඟට
ඇහිදගන්නට
නුඹට

සුවඳකට ඇමිණ එන
මතක සලකුණු අතර
අතරමන් වෙන්න
පාර පෙන්වන්නද නුඹට
මොහොතකට
එහෙම එක මොහොතකට

නුඹ යන්න....
කිසිවකුත් නොඇසු ලෙස
කිසිකුත් නොදුටු ලෙස
පුරුදු තනිකම
උරුම කර මට...

නුඹේ වෙන්වීම මට තදින්ම දැනෙන්න ඇත්තෙ නුඔ මගෙ ලෝකෙම නිසා වෙන්න ඇති. යන්න යද්දිත් තවත් නුඹ ලඟම ඉන්න හිතෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති....

ඒත්........


ලබන සතියට .....

Monday, May 21, 2012

ගැහැනියක් තුල ඇති ඉවසීම


ගැහැනු ළමයින්ගේ බ්ලොග් එකේ මම ලියන පළවෙනි පෝස්ට් එක. ලියන්නේ මොනවද කියලා දහ අතේ කල්පනා කරද්දී හිතුනේ මගේ අම්මා ගැන මුලින්ම ලියන්න ඕන කියලා. මොකද මගේ ජීවිතේ මට ඉන්න යකඩ ගැහැනිය ඇය නිසා.
ඉවසීම, අනේ මන්දා මට නම් තවමත් ඉවසීම කියන්නේ මොකද්ද කියලා හොයා ගන්න බැරි වුනා. එත් අම්මා කියන්නේ ගැහැනියෙක් වුනහම ඉවසීම තියෙන්න ඕනලු. ඒ ඉවසීමට සීමාවක් නෑ කියලා. වෙලාවකට හිතෙනවා අම්මා හරි කියලා. මට අද තාවනතුරු ම‍ගේ අම්මා තරම් ඉවසපු කෙනෙක් මේ ලෝකෙ මුණ ගැහිලා නෑ.
අම්මා ඉපදෙන්නේ හතර දෙනෙක් වෙච්ච පවුලේ තුන්වෙනියා වෙලා. පෙර පාසල් යන වයසටත් එන්න කලියෙන් හදිස්සියේම සීයා ඒ කියන්නේ අම්මගේ තාත්තා ගහකින් වැටිලා නැති වෙනවා. ඊට පස්සේ අත්තම්මා තවත් කසාදයක් කර ගත්තට පස්සේ අම්මව ඥාති ගෙදරක නතර කරනවා. අම්ම නම් කියන්නේ එහෙම කලේ අත්තම්මට කන්න බොන්න දෙන්න බැරි නිසා  කියලා. ඉතිං ඥාති ගෙදරක හිටියත් ඉගෙන ගන්න තියෙන හීනේ බොදවෙලා ගිහින් ඒ ගෙදර ඉන්න පාසල් යන ළමයි හතර දෙනාගේ වැඩ පල කරල ගෙදර අනිත් වැඩත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අම්මට. ඒත් කවම දාවත් එයා ඒ ලබපු දේට වෛර කරලා නෑ. හැම දේම පුදුමාකාර විදියට ඉවස ගෙන ජීවිතේට මුහුණු දීලා. ඉතිං ඔය විදිය හැල හැප්පීම් එක්ක නව යෞවනයට එද්දී හීන ගොඩක් මවාගෙන තමයි තමන්ගේ ආදරේ සොයා ගෙන හිටපු ගෙදරින් පියාඹලා ඇවිත් තියෙන්නේ. ඒත් තාත්තා ලගට ආවට පස්සේ වුනේ කඹලෙන් ලිපට වැටුන වගේ දෙයක්. දරුවෝ තුන් දෙනත් ඉස්කෝලේ යවලා අනිත් හැම වියදමක්ම කරන ගමන් තාත්තට උදේට වැසිකිළියට යන්න ගෙනැත් දෙන දුම්වැටියේ ඉදලා හවසට දාන රේස් තුන්ඩුවට පවා සල්ලි දෙන්න වුනේ මගේ අම්මට. මහන්සිවෙලා අනුන්ගෙ වළං පිගං හොදලා හැම දේම කලත් උයා ගනිපු බත් පත කන්න ලැබුනේ එහෙමත් දවසක විතරයි. ඒ වගේම ගුටි කෑමෙන් බැනුම් ඇහීමෙන් සීමාවකුත් නෑ.
හ්ම් ..................
ඒත් ඉතිං මේ තරම් කරදර වින්දත් කවම දාවත් අම්මා හිතුවේ නෑ තාත්තගෙන් දික්කසාද වෙලා තනියම එයා සැපෙන් ජීවත් වෙන්න ඕන කියලා. හැම ‍දුකක්ම එයා එයාගේ පපුවේ ඇතුලේ හිර කරගෙන පුදුමාකාර ඉවසීමකින් වැඩ කලා. මම පුංචි කාලේ අම්මා ඉවසනවා වැඩී ඇයි මේ තරම් ඉවසන්නේ කියලා රණ්ඩු වුන කෑගහපු වෙලාවල් ඕන තරම්. ඒත් අද මම මගේ අම්මගේ ඉවසීම ගැන ආ‍ඩම්බර වෙනවා. අම්මා එහෙම ඉවසුවේ නැත්නම් අපිට මොනවා වෙයිද? මේ වෙද්දී අපි කොහේ ඉදීද? ඒත් අම්මගේ ඉවසීම නිසා අපේ පවුල රැකුනා. මේ වෙද්දී සම්පූර්ණයෙන්ම තාත්තා බීමත් නතර කරලා.ඒත් අම්මා තවමත් කොළඹට වෙලා දුක් විදින්නේ නොබී හිටියත් තාත්ගේ තියෙන ඉක්මන් කේන්තිය තවම අඩු වෙලා නැති නිසා. ඒත් මම විශ්වාස කරනවා අම්මගේ ඉවසීමේ අග්‍රඵලය ඇයට ඇගේ සැදෑසමයෙදී උපරිමයෙන්‍ම විදින්න ලැබෙයි කියලා. පුංචි දේටත් දික්කසාද වෙන යුගයක මෙතරම් ඉවසූ මගේ අම්මා යකඩ ගැහැනියක් නොවේද .....

Saturday, May 19, 2012

.......දිරිය යුවති..... (1)


ජීවිතේ එපා වෙලා මැරෙන්න ඕනේ කියලා කවදා හරි දවසක ඔබට හිතිලා තියෙනවද? 
අපි හැමෝටම එහෙම එක පාරක් හරි හිතෙනවා. ආදරෙන් පැරදුනාම,බලාපොරොත්තු ඉටු නොවුනම, අපි ගොඩක් ආදරේ කරපු අය මේ ලෝකෙන් සමුගත්තම, එහෙමත් නැත්නම් රැකියාවක් නැතිවෙලා විභාගේ ෆේල් වෙලා..?.. 


එදා ඔබට හිතුනේ මේ ලොකේ අන්තිම දවස කියලා නේද. ඒත් එහෙම නෙමෙයි.. එදා එහෙම හිතලා ජීවිතේ නැති කරගත්තනම් අපරාදේ කියලා අද ඔබට හිතෙනවා නේද..


මේක කියවන අපේ  ගෑනු ළමයි..අක්කලා නංගිලා හැමෝම මේ විදියේ නොයෙකුත් හිත් අමාරු කම් වලට ජීවිතයේ නොයෙකුත් පරාජයන්ට මූණ දීලා ඇති


අපි අද ඉදන් අපේ ගැහැනු ළමයි බ්ලොග් එකත් එක්ක එකතුවෙන හැම ගෑණු ලමයෙක් එක්කම ජීවිතයේ මේ විදියේ කඩාවැටුනම ආයෙත් කකුල් දෙකෙන් නැගිටින්නේ කොහොමද කියලා කතා කරන්න අදහස් කරා


ඒවගේම ඔයාලටත් පුලුවන් අපි එක්ක ඔබේ අදහස් බෙදාගන්න.. වෙනුවෙන් අපි ක්‍රමයක් සකස් කරලා ඔබට කියන්නම්..


ජීවිතේ සමහර දේවල් ගැන ආපහු හැරිලා බලද්දී ලොකු පසුතැවීමක් ලැජ්ජාවක් සමහර විට ඔබට ඇති."ඇයි මම මෙහම දෙයක් කරේ" කියලා ඔබම ඔබෙන් විමසනවා ඇති


ඒත් දැන් සිද්ධවුන දේ සිද්ධවෙලා ඉවරයි.ඒක නිසා ඔබ මොනතරම් අතීතයේ සිද්ධියක් නිසා අඬා වැලපුනත් පසුතැවිලි උනත් ඒකෙන් වෙනසක් වෙන්නේ නෑ.


අපි බලමු වැරැද්ද උනේ කොහොමද කියලා. හිතලා බලන්න ඔබ සමහරවිට ඔබේ යහලුවන්,පෙම්වතාව ගොඩක් විශ්වාස කරනවා. එයාලා විශ්වාසේ කඩනවා
එතකොට ඔබට හිතෙන්නේ ජීවිතේම නැති වුනා වගේ නේද.. ඒත් එහෙම නෙමෙයි.. අපි විශ්වාස කරා වැරැද්ද කරේ එයාල. එයාලා කරපු වැරැද්දට ඇයි අපි හිතින් වන්දි ගෙවන්නේ.


හිතට ගන්න. ජීවිතේ කියන්නේ හීනයක්ම නෙමෙයි.. ඔබට මතකද පුංචිම කාලේ බෝනික්කො ගොඩක් වට කරන් බෝනික්කන්ට අම්මා වුනා. වගේම දවසක ඔබ ඔබේම දරුවන්ට ඇත්තටම අම්ම කෙනෙක් වෙයි


ගැහැණියක් මවක් කියන්නේ මහ පොළොව වගේම ඕනෙම දුකක් දරාගන්න පුලුවන් කෙනෙක්..ඔබේ පුංචි හිතේ.. ශක්තිය හොදටම තියෙනව. නැත්නම් හිතට ගන්න ශක්තිය ඇති කරගන්න..


මුලු ලෝකෙම පිරිමි හිතෙන්නේ ගැහැණිය කියන්නේ හරිම ලඳ බොළද හැමදේටම අඬා වැලපෙන කිසිම දෙයක් දරාගන්න බැරි කෙනෙක් කියලයි..ඒත් ඒක නෙමෙයි ඇත්ත..


ගොඩක් පුංචි දේවල් වලට අඬන ගෑණු හිත ලොකු දෙයක් ඉස්සරහ හරිම ශක්තිමත්.ඇඟිල්ලක් කැපුනාම හඬාවැටිලා දුක්වෙන අපේ හිත්, සමහර වෙලාවට අතක් පයක් නැතිවුනාම මේක තමයි දෛවය කියලා දිරියෙන් ජීවිතයට මූණ දෙන්න හිත හදාගන්න අවස්ථාවන් ඔබ දැකලා ඇති අනන්තවත්..


ගොඩක් ගැණු ළමයි මූණ දෙන හැමෝමටම පොදු ප්‍රශ්නයක්නේ ආදරය.. පලවෙනි ආදරෙන්ම විවාහය කරා යන්න පුළුවන් වෙන්නේ ගොඩක් අඩුවෙන්.එහෙම වෙනව නම් ගොඩක් සතුටුයි නේද..?ඒත් අවුරුදු ගානක් ආදරේ කරලා ,මුල්ම ආදරේ විවාහයෙන් කෙළවර ගෙන ,ඊට පස්සේ වෙන් වුන අයත් ඕනේ තරම් ඉන්නවා.


ආදරෙන් පැරදුන කෙනෙක්ට එහෙම නැත්නම් ලොකු වංචාවකට අහුවුන කෙනෙක්ට අපි වෙනම දවසක කතා කරමු. මොකද ගැන ගොඩක් දේවල් අපිට කියන්න සිද්ධ වෙන නිසා.


අපි හිතමු අපේ ලඟම නෑයෙක් මියගියාම කොහොමද ජීවිතේ ආයෙත් මුල ඉඳන් පටන් ගන්නේ කියලා. කෙනා අපේ සහොදර සහොදරියෙක්..දෙමාපියන්.. පෙම්වතෙක්..මිතුරෙක් වෙන්න පුළුවන්.. කෙනා එක්ක තිබ්බ බැඳීම අනුව ඔබේ ජීවිතේ කඩන් වැටීම අඩු වැඩි වෙන්න පුළුවන්.


ඒත් කරන්න ඔනේ මුල්ම දේ මානසිකව කඩන් වැටිලා ඉන්න ඔබ ආයෙමත් මුලින් හිතන්න පටන් ගන්න එක.ඔබට ගොඩක් ආදරේ කරපු කෙනෙක් නිසා මියගිය කෙනා කොහොමටවත් කැමති වෙන්නේ නෑ ඔබ කෙනා නිසා ජීවිතේ ඇඬු කඳුලෙන් ගත කරල අවුල් වෙනවා දකින්න..


ඒක නිසා මුලින්ම ජීවිතේ අළුතෙන් පටන් ගන්න හිතන්න. අපිට අපෙන් ඈත්වුන කෙනාව කොහොමටවත් ආයෙත් ගෙන්න ගන්න බෑ.මේ සංසාරේ හැටි එහෙමයි..එයා ගියපු ගමන අපිත් දවසක් යනවා.. 


ඔබ බිරිඳක් නම් ඔබට දරුවෝ ඉන්න පුළුවන්.. එයාලා ගැන එයාලගේ අනාගතය ගැන දැන් වගකීම තියෙන්නේ ඔබට


ඔබ වැඩිමල් සහෝදරීනම් ඔබේ කුඩා සහොදර සහොදරියන්ගේ වගකීම තියෙන්නේ ඔබට.ඔබ කඩන් වැටිලා ජීවිතේම දුකක් කියලා හිතුවොත් ඔබ දිහා බලන් ඉන්න බලාපොරොත්තු තියන් අයත් අසරන වෙනවා වල්මත් වෙනවා.


සමහර ගැණු ලමයි තමන්ගේ පෙම්වතා ජීවිතෙන් සමු ගත්තම එයත් ජීවිතේ නැති කරගන්න හිතෙනවා..ඒත් මොහොතක් හිතන්න. ඔබට ඔබෙ ජීවිතේ කියන්නේ ඔබම විතරක් වුනාට ඔබේ දෙමව්පියන්ට ඔබව ගොඩක් වටිනවා.


මැරෙන්න ගොඩක් ලේසියි..අනික ඒක කවදා හරි වෙනමයි.. ඒත් ජීවත් වෙන එක ගොඩක් අසීරු දෙයක්.. ඔබ කවදා හරි ගිහින් තියෙනවද පිළිකා රෝගීන් ඉන්න රෝහලකට. අයගේ ඇස්වල තියෙන බැල්ම ඔබට මතකද. ජීවිතේ යදින ඇස් දැක්කම ඔබට නිකන්වත් හිතුනේ නැද්ද අපි අපේ ජීවිතේට ආදරේ කරන්නේ මොනතරම් අඩුවෙන්ද කියලා. (එහෙම ලෙඩක් තියෙන අපේ යෙහෙලියක් මේක කියවනවනම් මානසිකව වැටෙන්න එපා. මම ඔබලටත් ලියනවා. ජීවිතේ වටිනාකම ඔබලා දන්න බව කියන්නයි මට ඕනේ උනේ)


අදම පටන් ගන්න ජීවිතේ අළුතින් හිතන්න.මේ ජිවිතේ ගොඩක් කෙටියි.. උදේ ඇවිත් දවල් වෙලා ඊලඟට හවස රෑ වෙලා දවස ඉවර වෙනවා වගේම ඉක්මනින් ජීවිතේ ගෙවිලා යනවා.ඔබ තවම ගෙවන්නේ උදෑසන..මතක තියගන්න ඉක්මනින් දවල් වෙනවා.ඊට පස්සේ ගෙවුන උදේ කාලේ ආයෙත් ගන්න බෑ. උදෑසන කරන්න තිබ්බ දේවල් දවල් කරන්නත් බෑ.


ඔබේ ජීවිතේ මුල් කාලේ ඔබට අතපසු වෙන ගොඩක් දේවල් පසු කාලෙක ඔබේ ජීවිතේට ගොඩක් බලපානවා කියලා ඔබට තේරෙන්නේ ඔබ වැඩිහිටියෙක් විදියට සමාජයට බැහැල අත්දැකීම් ලබන කොට...
ඒක නිසා අඬ අඬ ඉදලා බෑ


අදම පටන් ගන්න. ඉස්සෙල්ලම අඬ අඬ ඉන්නේ ඇඳට වෙලා නම් ඇඳෙන් බහින්න. යන්න ජනෙලේ ලඟට.. ජනේලේ ඇරලා හොද හුස්මක් ගන්න ..පේනවද වටපිටාව? ඔබ නැවතුනාට ලෝකය නතරවෙලා නෑ.හැමදේම දරාගන්න ඔබට පුළුවන්.. 


අපිව හැරගිය ආදරණීය අය ආයෙත් එන්නේ නෑ. ඒත් අපි ඔවුන් වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ.


ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් හෙට ඉදන් ආයෙත් අළුතින් ඉගෙන ගැනීමේ වැඩ කටයුතු පටන් ගන්න.
රැකියාවකට යන කෙනෙක් නම් වැඩ ආයෙත් මුල ඉඳන් පිළිවෙලකට කරන්න පටන් ගන්න.. 


දන්නවා ඔබ හැර ගිය කෙනාව දහස්වාරයක් මතක් වෙන බව. මියගිය කෙනා වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් හොදම දේ එයාව මතක් කරලා වෙනුවෙන් පිනක් කරන එක. ඔබට හැකි අයුරින් ඒක කරන්න


ආගමට ධර්මයට ටිකක් සමීප වෙන්න..මොන ආගමෙන් උනත් ඔබේ සිත නිවන දෙයක් දැනගන්න ලැබෙයි.
ටිකෙන් ටික ඔබේ සිත නිමෙයි.. ජීවිතය තේරුම් ගන්න


පලා යන එක නෙමෙයි වැදගත් සටන් කරන එක..


ඔව්. ඔබට ලැබුනූ මේ වටිනා ජීවිතේ රැකගන්න, ඒ වෙනුවෙන් සටන් කරන්න. ඉක්මණින්ම පරාජය භාරගන්න එපා. අතෑරිලා යන්න දෙන්න එපා මේ ජීවිතේ...


කුණාටු වගේ ප්‍රශ්න හමුවේ,ජීවිතේ තව තවත් බදලා අල්ලගන්න.. හයියෙන් වැළඳගන්න.. ආදරෙන් රැකගන්න.පරිස්සම් කරගන්න.. මේ ජීවිතේ වෙන කාගෙවත්ම නෙවෙයි..මේ ඔබේ ජීවිතේ....



ඉතින් අපි ඔබෙන් ඉල්ලනවා දිගින් දිගටම අපි එක්ක එකතුවෙලා ඉන්න. අපිත් එක්ක ඔබේ අදහස් බෙදාගන්න.. 


ගැහැණිය කියන්නේ වැටිලා ඉන්න කෙනෙක් නෙමෙයි.. අපි ජීවිතේට මූණ දෙමු..ඔබ තනියෙන් නෙමෙයි.. ගැහැනු ළමයි බ්ලොග් එකේ අපි හැමෝම ඔබ එක්කමයි.. ....


ආයෙත් මේ වගේම ලිපියකින් අපි අපේ ජීවිත ගැන කතා කරමු....තවත් දවසක....


ඉතින් ඔබේ සිත මොහොතකටවත් නිවෙන්න ඇති කියලා මම හිතනවාආයෙත් අපි හමුවෙනකන් ඔබේ සිතට සහනයක් ලැබේවාඔබේ සිත නිවේවා..!





Thursday, May 17, 2012

දිරිමත් සිතකට කලනොහැකි කිසිවක් නොමැතිබව....




ගැහැනු ළමයි ගැන කියනවා කිවුව නිසාම ඔන්න මම කෙලින්ම ගැහැනු ළමයිගේ හිත ගැන කතා කරනවා...

         පුංචි කලේ ඉදන් මම වැඩිපුරම දැක්කෙ මගේ අම්මායි අච්චි... අදටත් මගේ ලෝකේ ඉන්න ගැහැනු විරවරියෝ දෙන්නා තමයි දෙන්නා.. මගේ ජිවිතේට ආව ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න ධෛර්ය  ශක්තිය ලැබුනෙ දෙන්නා නිසා. ඔන්න මුලින්ම දෙන්නාව මතක් කලේ ස්තුති කරන්න ඔනේ නිසා. දැන් කියන්නන් මගේ කතාව.

          පුංචි කලේ ඉදන් ඉගන ගන්න බැරි නිසා මම මානසිකව ගොඩක් දුක් වින්ද කෙනෙක්. අනන්තවත් බැනුන් ඇහුවා. පංතියේ යාළුවො නැතුව කොන් වුනා. දෙක වසරේදි මට සත 50 සත 50 එකතු කලාම රැපියලයි කියා ගන්නවත් දන්නෙ නැ මම කියන්නෙම සත 100යි කියලා. English dictation වලට හැමදාම 0.. කොටින්ම මම ශිෂ්‍යත්තෙත් ෆේල් හොදේ.  පංතියේ අන්තිමයා වෙච්ච වාර ගණන් කරන්න බැරි තරම්...

අපේ තාත්තා දවසක් කිව්වා  -  “මේකව හැදුවට වඩා හොදයි එළදෙනක් හැදුවනන් අඩුම වශයෙන් කිරි ටිකයි පැටියෙකුවත් ලැබෙනවානේ ”  කියලා...

සියා තමයි මගේ ඉංග්‍රිසි ගුරැවරයා... අපේ සියා ඉස්සර මට ඉංග්‍රිසි කියලා දෙන්න මාර පට්ට උත්සාහයක් ගත්තේ. කොච්චර කලාත් මට මෙච්චර තමයි කියන්න වගේ මගෙ නම් කිසිම උනන්දුවක් තිබ්බෙ නැ ඉගනගන්න. බැරිම තැන සියා ඉංග්‍රිසි  පොත පැත්තකට දලා යනවා යන්න....

අපේ අච්චි එයා තමයි මගේ හොදම රසිකාවිය. මම මොනා කලත් අච්චි තමයි හොද නරක කියන්නෙ.. එත් අච්චි මට කිව්ව කතාවක් මට අද වගේ මතකයි. එදා තමයි o/l එකට කලින් තිබ්බ අන්තිම වාර විභාගේ ලකුණු ආව දවස.
මට ඉතින් වහ කාලා මැරෙන්න තරම් සතුටක් තිබ්බෙ එදා මොකද කිව්වොත් මට විෂයන් තුන හතරකටම ලකුණු 30න් අඩුයිලු ... අච්චි ලකුණු බලලා කිව්වා  “ කමක් නැ පුතා ඔයා o/l කරලා ඉවර වුනාම මම ඔයාව මාමාගේ ගාමන්ට් ෆැක්ටරි එකක වැඩට දන්නන් කියලා ”...  වචන ටික මට මැරෙනකම් අමතක වෙන එකක් නැ. ඇත්තමයි අච්චි නෙමෙයිනම් මම මුණකට සමතලා කරනවා ආව කෙන්තියට. එත් o/l රිසල්ට් ආව දවසේ මම ඉස්කොලෙ ඉදන් ගෙදර දුවගෙන ඇවිත් කෙලින්ම ගියේ අච්චි ලගට... “ අච්චි මට A3, B5යි මම පාස් ආච්චි අර මාමාගේ ෆැක්ටරියට මාව දාන අදහස අත්ඇරගන්න වෙයි ඔන්නකියලා මම කිව්වා...

  ඉට පස්සෙ එන්නෙ පාසල් ජිවිතේ මගේ ස්වර්ණමය යුගය. මට දඟ මල්ල හෙවත් මගේ අතිජාත මිතුරිය හම්බවෙන්නෙත් මේ කාලෙදි තමයි. නැටුම්, නාට්‍ය, පිහිනිම, වුෂු, හොකී මේ හැමදෙකටම වගේ සහාභගි වෙන්න ලැබෙන්නෙ මේ කාලේ. ඉගනිමට වගේම අනිත් අමතර සියල්ලටම තියන දක්ෂතා පෙන්නන්න ලැබෙනවා... පුළුවන් හැකි උපරිමයෙන් මට උසස් පෙළ සමත් වෙනවා. විශ්වවිද්‍යායලයකට ඇතුලත් වෙන්න නොහැකි වුනත් අද වෙන විට බාහිර උපාධියේ 2වන වුරැද්ද. අවසන් විභාගයට මුහුන දෙන්න බලන් ඉන්නවා...

        අනේක වු අපහාස මැද්දෙ යාළුවන්ගෙන් , ගුරුවරුන්ගෙන්, නෑදැයින්ගෙන් මානසිකව මම විඳපු දුක පුංචි හිතට දැනුන වේදනාව මට වචනයෙන් විස්තර කරන්න දන්නෙ නෑ. කොට්ටෙ තෙත් වෙනකන් තනියම හොරෙන් ඇඬුව හැටි දන්නෙ මම විතරයි... මට නොලැබුනු දෙවල් වෙනුවෙන් එදා මම ගොඩක් දුක් වුනා. සෙනගක් මැද්දෙ කොන් වුනාම තනි වුනාම දැනෙන දුක මම ඕනෑවටත් වැඩිය විදලා තියනවා..  තමන්ගේ දුක කියාගන්න බෙදා ගන්න කෙනෙක් නැති වුනාම හිතට දැනෙන අපහාසුතාවය. යම් යම් අවස්ථා වලදි මට හිතුනා දෙවියනේ ඇයි මාව කෙල්ලෙක් කලේ කියලා.

        එත් මේ හැම දෙයක්ම හැම දුකක්, වේදනාවක්, මානසික පිඩනය, අපහාස, නින්දා ගැරහුම් මට මගේ ජිවිතේ ජය ගන්න අත්වැලක් වුනා කියලා මම හිතන්නෙ. එදා මම අඬ අඬම නැගිට්ටා හැමදෙම විද දරාගෙන ඉස්සරහට ගියා. අද මම ඉන්න තැන ගැන මම ගොඩක් සතුටුයි. 21.වු මම ගැන මම සතුටු වෙනවා.

        *මම දැන් අත්දැකිමෙන් දන්නවා ගැණු පිරිමි භේදයක් නෑ උත්සාහයයි වුවමනාවයි තිනවානම් මිනිහෙක්ට කරන්න බැරි දෙයක් නැති බව.. 

        *මනුස්යෙක්ට දියුණු වෙන්න ඉස්සරහට යන්න නින්දා අපහසත් ගොඩක් වැදගත් කියලා හිතෙනවා .. මොකද තුලින් ජිවිතේට අමුතු ධෛර්යක් ලැබෙනවා..

        *කෙනෙක්ව පාගලා කකුලෙන් ඇදලා බිමට දාන්න හදන තරමට මනුස්සයා නැගිටින් දරන උත්සහායත් වැඩි වෙනවා..

අදටත් මේ නින්දා ගැරහුම් වලින්නම් අඩුවක් නෑ මට. එත් තවමත් මම මගේ අරමුණු  වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා... කෙල්ලෙක් විදියට මේ දරා ගත්තා වගේ ඉස්සරහටත් නොසැලි නොබියව මගේ ගමන මම යනවා.. 

          අන්තිමටම එකක් කියන්න ඔනේ කෙල්ලෙක් කියන්නෙ දුර්වල අමුතු සත්තු ජාතියක් නෙමෙයි.. කොල්ලන්ටත් වඩා ශාක්තිමත් හිතක් කෙල්ලෙක්ට තියෙනවා. හැබැයි මේ ශක්තිය අපේ කෙල්ලො අතර තවම අවදි වෙලා නැ. හැබැයි සැගවුනු ශක්තිය කලඑළිබැස්ස දවසට කට්ටියටම පරිස්සම් වෙන්න වෙයි. ;) කෙල්ලෙක්ට මඩක් ගහන්න කලින් ඔන්න අයේ හිතලා බලන්න වෙයි... ;)

එහෙනම් මේ ඇති අදට... 

මම සිහින මදාරා....